ඇමෙරිකාවේ පැවැති "හූස්ටන් මැරතත්" තරගයේදී මැරතන් කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත්කිරීමට හිරුණි විජේරත්න සමත් වූවාය. ඇමෙරිකානු වේලාවෙන් ඊයේ (14දා) අවසන් වූ මෙම තරගයේ 08 වැනියා ලෙස හිරුණි තරගය අවසන් කළ අතර, ඒ සඳහා ඇය පැය 2:36:35ක කාලයක් ගතකළාය. හිරුනි සමස්ත තරගයේ (කාන්තා/පිරිමි) 51 වැනි ස්ථානය දිනාගත්තාය.
මෙය නිලූකා රාජසේකර විසින් පිහිටුවා තිබූ දෙවසරක් පැරණි කාන්තා මැරතන් ශ්‍රී ලංකා වාර්තාව අබිබවා යාමක් වන අතර, නිලූකා පසුගිය 2015 වසරේ පැවැති හොංකොං මැරතන් තරගයේදී සිය ඉසව්ව පැය 2:40:07කින් අවසන් කර එම ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබිණි.
ශ්‍රී ලංකා - ඇමරිකා මලල ක්‍රීඩිකාවක වන හිරුණි වාර්තාකළ මෙම කාලය හේතුවෙන් ඇය මෙම වසරේ අප්‍රේල් මස ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළටද සුදුසුකම් ලබාගත්තාය.