ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 වටයේ ශූරතාව දිනා ගැනීමට හලාවත මේරියන්ස් කණ්ඩායම සමත් විය.
සුපිරි 08 වටයේ තරග පසුගිය සතියේදී අවසන් වූ අතර, ඒ වනවිට මේරියන්ස් කණ්ඩායම ශූරතාව රැගෙන යෑමට අවශ්‍ය පසුබිම සකසාගෙන තිබුණි. ඔවුන් මුහුණදුන් අවසන් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති අතර, එම තරගයෙන් ලකුණු 266ක විශිෂ්ට ජයක් ලැබීමට හලාවත මේරියන්ස් කණ්ඩායමට හැකිවිය.
ඔවුන් සුපිරි 08 වටයේ තරග 07කට ක්‍රීඩා කර ඉන් තරග 06කම පූර්ණ ජයග්‍රහණ ලැබූ අතර, එක් තරගයක් පමණක් ලකුණු සමව අවසන් විය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිවන විට ඔවුන්ට ප්‍රසාද ලකුණු 118.94ක් හිමිව තිබුණි.
මෙහි දෙවැනි ස්ථානය තරග 07කට ක්‍රීඩා කර ඉන් පූර්ණ ජයග්‍රහණ 04ක් හිමි කරගත් එස්.එස්.සී. කණ්ඩායම දිනාගත් අතර, ඔවුන්ට ප්‍රසාද ලකුණු 93.28ක් හිමිව තිබුණි. තරග 07කට ක්‍රීඩා කර ඉන් තරග 04ක් ජය ගනිමින් තරග 03ක් පරාජයට පත් වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියට (ප්‍ර.ල. 82.14) මෙහි තෙවැනි ස්ථානය හිමිවිය.
හලාවත මේරියස් කණ්ඩායමේ සචිත්ර සේරසිංහ ඒ කාණ්ඩයේ ඉහළම ලකුණු ලැබූ පිතිකරුවා බවට පත්විය. ඔහු ඉනිම් 17කදී ශතක 03ක් හා අර්ධ ශතක 06ක් සමගින් ලකුණු 901ක් රැස්කිරීමට සමත් විය. එමෙන්ම මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක් වූ මාලින්ද පුෂ්පකුමාර මෙම කාණ්ඩයේ වැඩිම කඩුලු දවාලූ පන්දු යවන්නා වෙයි. මාලින්ද ඉනිම් 20කදී කඩුලු 70ක් දවාලීමට සමත් විය. ඔහුගේ දක්ෂතා අතර කඩුලු 05 බැගින් දවාලූ අවස්ථා 07ක් හා කඩුලු 10 බැගින් දවාලූ එක් අවස්ථාවක් විය.
මේරියන්ස් කණ්ඩායමට අමතරව සුපිරි 08 වටය අවසන් කරමින් පැවැති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට එන්.සී.සී., වරාය අධිකාරි හා බී.ආර්.සී. ක්‍රීඩා සමාජ සමත් විය.
මෙම සතියේදී ශතක 08ක් හා අර්ධ ශතක 12ක් වාර්තා වූ අතර, ඉන් එන්.සී.සී. කණ්ඩායමේ ළහිරු උදාර (157) ඉහළම ඉනිම ක්‍රීඩා කිරීමට සමත් විය. මීට අමතරව ෂෙහාන් ජයසූරිය (146/හලාවත), අශේන් බණ්ඩාර (105/ හලාවත), භානුක රාජපක්ෂ (134/එන්.සී.සී.), ඇන්ජලෝ පෙරේරා (නොදැවී 129/එන්.සී.සී.), මහේල උඩවත්ත (106/එන්.සී.සී.), සහන් ආරච්චිගේ (116/ කෝල්ට්ස්) හා එංගලන්ත ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන නික් කොම්ටන් (103/වරාය අධිකාරිය) ශතක රැස් කළහ.
මෙහිදී පන්දු යවන්නන්ගේ දක්ෂතාද ඉස්මතු වූ අතර, එහිදී කඩුලු 05 බැගින් දවාලූ අවස්ථාවන් 06ක් වාර්තා විය. ලසිත් ඇඹුල්දෙනිය (5/33, එන්.සී.සී.), සචිත්න පීරිස් (5/65, එන්.සී.සී.), රනිත ලියනාරච්චි (5/57, සැරසන්ස්), චරිත් ජයම්පති (5/33, වරාය අධිකාරි), හිමේෂ් රත්නායක (5/29, බී.ආර්.සී.) හා සුරාජ් රන්දිව් (5/08, බී.ආර්.සී.) කඩුලු 05 බැගින් දවාලූ පන්දු යවන්නෝ වූහ.