ඉන්දියාවට එරෙහිව ධර්ම්සාලාහි ඊයේ (10දා)පැවැති පළමු එක්දින තරගයේ වීරයා වූ ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක සුරංග ලක්මාල් තරගයෙන් පසුව නැවතත් අසනීප තත්ත්වය උත්සන්න වී තිබේ.
සුරංග තරගය අතරතුර ක්රීඩාංගණයේදී තුන් වරක් වමනය කොට ඇති අතර, පන්දු යැවීමෙන් පසුව විවේකාගාරයේදී ද වමනය කොට තිබේ.
අසනීප තත්ත්වයෙන් පසු වූ සුරංග ඊයේ පෙරවරුව වනවිට සම්පූර්ණ සුව ලබා නොසිටියද කණ්ඩායම් හැඟීම නිසා ඔහු තරගයට ක්රීඩා කර තිබේ. ක්රීඩා කළ හැකි යැයි විශ්වාසයක් තිබේ නම් ක්රීඩා කරන ලෙස ඔහුගෙන් කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ඉල්ලීමක්ද කර තිබිණි.
සුරංග මෙහිදී ඕවර 10 එක දිගටම ක්රියාත්මක කළ අතර, ඒ අවස්ථාවේදී ද අසනීප තත්ත්වය පිළිබඳ තිසර විමසා තිබේ.
ඒ පිළිබඳතරගයෙන් පසුව අදහස් දැක්වූ සුරංගලක්මාල්,
”මම හිත්න්නේ දිල්ලිවල තිබුණු පරිසර තත්ත්වයෙන් තමයි අසනීප වුණේ. තවමත් මට සුව නෑ. අද පෙරවරුවේ පරීක්ෂණයක් තිබුණා. එකෙදිත් මට තේරුණා 100% ක් සුව නෑ කියලා. සියලු දෙනාගේම ඉල්ලීම පරිදිත්, මගේ ක්රීඩා කිරීමේ කැමැත්තත් මත ක්රීඩා කරන්න තීරණය කළා” යැයි පැවසීය.
සුරංග කතා කිරීමට පවා ආයාසයක් දරන තත්ත්වයක් ඊයේ පස්වරුවේ දැකගත හැකි වූ අතර, තමන්ට බෙහෙත් වැඩි ප්රමාණයක් ලබාගැනීමට සිදුවී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
යොහාන් භාසුර ඉන්දියාවේ ධරම්ශාලා සිට