සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය අද (20දා) සාජාහිදී පැවැත්වේ. අවසන් වූ තරග 3ම ජයගත් පාකිස්තානුවන් මේ වනවිටත් තරගාවලියේ ජය හිමිකරගෙන අවසන්ය. එහෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව ඇත්තේ අවමානයෙන් බේරීමට සටනක් ලබාදීම පමණි. අඛණ්ඩව එක්දින තරග 10ක් පරාජයට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එක් තරග ජයග්‍රහණයකින් කණ්ඩායමේ පිබිදීමක් අපේක්ෂා කළ හැකි බැවින් අද තරගයේදී ඒ සඳහා අවස්ථාවක් හිමිවේ යැයි සියලු දෙනාගේම අපේක්ෂාවයි.
එක්දින තරගාවලිය ආරම්භයේදී අප සඳහන් කර සිටියේ, තරගාවලියේ ජය කෙසේ වෙතත් තරග 2ක් වත් ජයගන්නට හැකි නම් එය ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරන තත්ත්වයක් ලෙස සැලකිය හැකි බවය. එහෙත් එයද මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් බව පෙනෙන්න තිබේ.
ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකරගන්නා මෙරට තරුණ ක්‍රීඩකයන් ආරම්භයේදී දැඩි විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දුන්නද තරග කිහිපයකින් පසුව සිය විශ්වාසය බිඳගන්නා ආකාරයක් දැකගත හැකිය. තරුණ ක්‍රීඩකයන් වෙත අනවශ්‍ය බරක් පැටවීම මෙන්ම ඔවුන් පන්දුවට පහර දෙන ස්ථානයන් නිරන්තරයෙන් වෙනස් කිරීම එයට බලපාන ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකිය.
නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න සහ මිලින්ද සිරිවර්ධන එසේ සිය විශ්වාසය බිඳගත්, පීඩනයට හසුවූ ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන්ම සිටිති. ඔවුන්ගේ විශ්වාසය වැඩි කරමින් දක්ෂතා අතරට නැවත වරක් රැගෙන ඒමට හැකි ඉක්මන් පිළියමක් සොයාගත යුතුව ඇත. එසේ නොවන්නට පරාජයන් මිස අන්කිසිවක් අපේක්ෂා කළ නොහැකිය.
අවසන් වූ තරග තුනෙහිම අසාර්ථක වූ දිනේෂ් චන්දිමාල්ට අද තරගයේදීද අවස්ථාවක් හිමිවෙතැයි විශ්වාස කළ නොහැකිය. එහෙයින් අද තරගයේදී දිනේෂ් චන්දිමාල් වෙනුවට සදීර සමරවික්‍රම අවසන් 11 දෙනා අතරට කැඳවීමට වැඩි අවස්ථාවක් පවතී. මන්ද බ.ඉ. කොදෙව් ඒ කණ්ඩායම සමගින් තරග වැදීම සඳහා නම් කර සිටි සදීර සමරවික්‍රම නැවතත්
ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්ව සිටින බවට තොරතුරු වාර්තා වන බැවිනි.
තෙවැනි තරගය අතරතුර දී චාමර කපුගෙදර ආබාධයට ලක්වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට තවත් අවස්ථාවක් හිමිවීමට හෝ නැතිනම් කුසල් මෙන්ඩිස්ට අවස්ථාවක් හිමිවීමට ඉඩ තිබේ. තවද මිලින්ද සිරිවර්ධනද අවසන් තරග තුනෙහිදීම කණ්ඩායම වෙනුවෙන් දැනෙන යමක් කිරීමට අපොහොසත්වූ බැවින් ඔහුගේ ස්ථානයට සීක්කුගේ ප්‍රසන්න කැඳවනු ඇතැයි විශ්වාස කළ හැකිය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදීද ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නේ නම් තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් රැස් කරගත යුතුය. අවම වශයෙන් ලකුණු 250 සීමාව වත් පසුකර යෑමට පිතිකරුවන් උත්සාහ කළ යුතුය. එසේ නොමැතිව පාකිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නේ නම් පාකිස්තානු පිතිකරුවන් ලකුණු 250 සීමාවේ රඳවා ගැනීම හිතකරය.
ආබාධයෙන් පසුව කණ්ඩායම සමගින් එක්වූ දුෂ්මන්ත චමීර හොඳ රිද්මයකින් සහ වේගයකින් යුතුව පන්දු යවන ආකාරයක් දැකගත හැකිය.
එය ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳ සලකුණකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හේතුවෙන් පන්දු යවන්නන්ට සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් හිමිනොවූ බව සඳහන් කළ යුතුය.
ඉන්සමාම් උල් හක්ගේ ඥාති පුත්‍රයෙකු වන ඉමාම් උල් හක් සිය පළමු තරගයේදීම පාකිස්තානය වෙනුවෙන් ශතකයක් වාර්තා කළේය. සාර්ථක ආරම්භක පිතිකරු යුගලයක් සොයමින් සිටි පාකිස්තානු තේරීම් කමිටුවට, විශේෂයෙන්ම පාකිස්තානු තේරීම් කමිටු ප්‍රධානී ඉන්සමාම් උල් හක්ට නම් ඉමාම්ගේ ශතකය මහත් අත්වැසිල්ලක් වනු නොඅනුමානය.
පාකිස්තානු වේග පන්දු යවන්නෙකු වන හසන් අලීද පාලනය කරගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට ඇති අභියෝගයකි. අවසන් තරගයේ දී ලකුණු 34ට කඩුලු 5ක් දවාගන්නට ඔහු සමත් විය. එහෙයින් දිනෙන් දින දියුණුවෙමින් සිටින හසන් අලීගේ පන්දුවාර 10 ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තීරණය වන සාධකයක් බවට පත්ව ඇත.