එංගලන්තය වැනි රටක ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩකයන්ගේ හැකියාව හා කුසලතාව බොහෝ වැදගත් බවත්, තම අත්දැකීම් තුළින් ශූරයන්ගේ කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිමය ලබාදීමට අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වේගපන්දු පුහුණු උපදේශක දකුණු අප්‍රිකානු ජාතික ඇලන් ඩොනල්ඩ් මහතා පැවසීය.
ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක තනතුර භාරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පවසා සිටියේය.
එහිදී තම කාර්යභාරය හා පුහුණු සැලසුම් පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළ ඩොනල්ඩ්,
''ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා කටයුතු කිරීමට ලැබීම මා ලද ගෞරවයක්. අයි.සී.සී. ඉසව් සඳහා පුහුණුව ලබාදීමට අවස්ථාව ලැබීම මට ඉතා හොඳ අවස්ථාවක්. මට ඉන්නේ ඉතාමත් දක්ෂ කණ්ඩායමක්. ඒ වගේම පුහුණුකාර මණ්ඩලයත් ඉතා දක්ෂයි. අපි ඉදිරි සති 02 තුළදී ඉතා හොඳට පුහුණුවීම් ආරම්භ කරන්න අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකා තරුණ වේගපන්දු යවන්නන් හා බිම් මට්ටමේ ක්‍රීඩකයන්ට පුහුණුව ලබාදීමටත් මම බලාපොරොත්තු වෙනවා. මගේ අත්දැකීම් තුළින් මට කරන්න පුළුවන් උපරිමය කරනවා.
ශූරයන්ගේ කුසලානය සඳහා ඉතා හොඳ කණ්ඩායමක් තෝරා දී තිබෙනවා. මගේ පළමු සැලකීම ලසිත් මාලිංග වෙත යොමුවේවි. ඔහු තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු බළඇණියේ නායකයා. විශේෂයෙන් එක්දින තරගවලදී ඔහුගේ දක්ෂතා කැපීපෙනුණා'' යැයි පවසා සිටියේය.
මෙහිදී මාලිංග සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ඩොනල්ඩ්,
''මාලිංග ආබාධයකින් පසුවයි කණ්ඩායම හා එක්වෙලා තිබෙන්නේ. මට විශ්වාසයි ඔහු නැවතත් දක්ෂතා අතරට පැමිණෙයි. ඔහු දන්නවා ඔහුට කළ හැකි දේ. ඒ නිසා ඉතා ඉක්මනින් ඔහුගේ දක්ෂතා අපිට දැකබලාගන්න පුළුවන් වේවි'' යැයි පැවසීය.
ශ්‍රී ලංකා වේගපන්දු පුහුණු උපදේශක ඇලන් ඩොනල්ඩ් එළැඹෙන 09 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිල වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කටයුතු අධීක්ෂණය කිරීමට නියමිත අතර, ඊට පෙර මෙරට බිම් මට්ටමේ හා තරුණ වේගපන්දු යවන්නන්ටද කෙටි පුහුණු සැසි පැවැත්වීමට නියමිතය.
එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට්හි වේගපන්දු පුහුණුකරුවන් වන චම්පක රාමනායක, චමින්ද වාස්, රවීන්ද්‍ර පුෂ්පකුමාර, නුවන් සොයිසා යන පුහුණුකරුවන්ටද අවශ්‍ය පුහුණු උපදෙස් ලබාදීමට ඇලන් ඩොනල්ඩ් ඉදිරියේදී කටයුතු කරනු ඇත.
ඇලන් ඩොනල්ඩ්ගේ පත්වීම සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලංකා පුහුණුකරු ග්රැහැම් ෆෝඩ්,
''අපේ පන්දු යවන්නන් ඉතාමත් වාසනාවන්තයි. ඇලන් ඔහුගේ දැනුම අපේ ක්‍රීඩකයන්ට ලබාදේවි යැයි මා විශ්වාස කරනවා. ඒ වගේම අපිට ඉන්න තරුණ වේගපන්දු යවන්නන් ඉතා හොඳ දියුණුවක් ඔහු යටතේ ලබා ගනීවි. ඔහුට ලොව නොයෙක් රටවල ජාතික කණ්ඩායම් සහ අයී.පී.එල් තරගාවලියේ කණ්ඩායම් පුහුණුකර ලබාගත් දැනුම තිබෙනවා. ඒ වගේම ඔහු දකුණු අප්‍රිකාව දීර්ඝ කාලයක් නියෝජනය කළා. ඒ දැනුම් අපේ ක්‍රීඩකයන්ට ඉතා වැදගත් වේවි. ඔහුගේ දායකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් මම ඉතාම තෘප්තිමත් වෙනවා යැයි සඳහන් කළේය.''
ඇලන් ඩොනල්ඩ්ගේ නව පත්වීම හා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුව සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල,
''ශූරයන්ගේ කුසලානය හේතුකරගෙන අපේ සැලසුම් ශක්තිමත් කරන්න නම් මීට වඩා අපේ සියලු අංශ ශක්තිමත් කළ යුතුයි. එනිසා වේගපන්දු උපදේශකයෙකු ලෙස අපි එම තරගාවලියට දකුණු අප්‍රිකාවේ ඇලන් ඩොනල්ඩ්ව ගෙන්නුවා. ඔහු ඊට එකඟවෙලා අපේ පුහුණුවට පැමිණිලා තිබෙනවා.
අපි මේ වනවිට ජාතික කණ්ඩායමට බොහෝ සම්පත් ලබාදීලා තිබෙනවා. අපි කණ්ඩායම ශක්තිමත් කිරීමට කළ හැකි සියලුම සැලසුම් ක්‍රියාත්මක කරනවා. එංගලන්ත තත්ත්ව යටතේ ශූරයන්ගේ කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකරවීම ඇලන්ට භාරවෙලා තිබෙනවා'' යැයි ප්‍රකාශ කළේය.
මේ අතර ශූරයන්ගේ කුසලානයට පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට නිලධාරීන් 09 දෙනෙකු ඇතුළත් කර ඇති අතර, වේගපන්දු පුහුණුකරු චම්පික රාමනායක ඉන් ඉවත් කර තිබේ. මෙහිදී ශ්‍රි ලංකා කණ්ඩායමට පිතිකරණ හා දඟපන්දු පුහුණුකරුවන්ද ඇතුළත් කර නොමැති අතර, පන්දු යැවීමේ අංශය ඇලන් ඩොනල්ඩ්ටද, පිතිකරණ අංශය ග්රැහැම් ෆෝඩ්ටද පැවරීමට පියවර ගෙන තිබේ.
පිටත්ව යන නිලධාරීන් ලෙස අසංක ගුරුසිංහ (කණ්ඩායම් කළමනාකරු) රංජිත් ප්‍රනාන්දු, (තරගාවලි කළමනාකරු), ග්රැහැම් ෆෝඩ් (ප්‍රධාන පුහුණුකරු), ඇලන් ඩොනල්ඩ් (වේගපන්දු පුහුණු උපදේශක), නික් පෝතාස් (පන්දු රැකීමේ පුහුණුකරු), නික් ලී (අභ්‍යාසක), අජන්ත වත්තේගම (භෞත චිකිත්සක), ශ්‍රී රාම් සෝමායජුලා (විශ්ලේෂක) හා රොහාන් ප්‍රියදර්ශන (සම්භාහක) ලෙස නම් කර තිබේ.
ශුරයන්ගේ කුසලාන තරගාවලිය එංගලන්තය හා වේල්සය කේන්ද්‍ර කරගනිමින් ජුනි මස 01 වැනිදා ඇරඹෙන අතර, ජුනි මස 03 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව සිය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව මෙහිදී 'බී' කාණ්ඩයෙන් තරග වැදීමට අපේක්ෂිත අතර, දකුණු අප්‍රිකාවට අමතරව ඉන්දියාව හා පාකිස්තානය එම කාණ්ඩයට ඇතුළත්ය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ