ආසියානු වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන ආසියානු 23න් පහළ වොලිබෝල් තරගාවලියේ (පිරිමි) කුසලාන බලාපොරොත්තු අතහැර ගැනීමට ශ්රී ලංකාවට සිදුවිය.
ඒ අවසන් 8 දෙනාගේ වටයට යෑම සඳහා තායිලන්තය සමග ඊයේ (03දා) පැවැති මූලික වටයේ තරගයෙන් තරග වට 3-1ක පරාජයක් ලැබීම හේතුවෙනි. ඉරානයේ අර්ධෙබිල් නුවරදී පැවැත්වෙන තරගාවලියේ මූලික වටයේදී 'ඩී' කාණ්ඩයෙන් ක්රීඩා කරන ශ්රී ල‘ංකාවට මෙම පරාජයත් සමගින් තරගාවලියේ අවසන් 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවිය.
තරගයේ පළමු වටයේදී දක්ෂ ක්රීඩා රටාවක නියැළුණු ශ්රී ලංකාව එම වටය 25-23ක් ලෙස ජයගැනීමට සමත්විය. කෙසේ වෙතත් ශ්රී ලංකා කණ්ඩායමේ රිද්මය දෙවැනි වටයේදී පහත හෙළීමට තායිලන්ත ක්රීඩකයන් සමත්වූයේ 25-21ක් ලෙස එම වටය ජයගනිමිනි. ඉන් අනතුරුව ශ්රී ලංකා කණ්ඩායමේ දුර්වලතා මැනවින් හඳුනාගත් තායිලන්ත ක්රීඩකයෝ තරගයේ ඉතිරි වටයන් පහසුවෙන් ආක්රමණය කරමින් 19-25ක් හා 18-25ක් ලෙස එම වටයන් ජයගැනීමට සමත්වූහ.
කෙසේ වෙතත් මෙම පරාජය ශ්රී ලංකාවට තරගාවලියෙන් ඉවතට විසිවීමට හේතුවක් නොවන අතර, ශ්රී ලංකාව හෙට තරගාවලියේ 9 වැනි ස්ථානය වෙනුවෙන් උස්බෙකිස්ථානය සමග තරගවැදීමට නියමිතය. ශ්රී ලංකාව තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගයෙන් ජපානය හමුවේ තරග වට 3-0ක පරාජයක් ලැබීය.
මේ අනුව 'ඩී' කාණ්ඩයේ තමන් සහභාගි වූ තරග දෙකම ජය ගත් ජපානය මෙම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි.
මේ අතර, තරගාවලියේ 'බී' කාණ්ඩයේ ඊයේ පැවැති තවත් තරගයකින් කසකස්ථානය පරදා තරග වට 3-0ක පහසු ජයක් වාර්තා කිරීමට චීන තායිපේ කණ්ඩායම සමත්විය. කෙසේ වුවද චීන තායිපේ කණ්ඩායමට මෙහිදී පහසු ජයක් වාර්තා කිරීමට කසකස්ථාන ක්රීඩකයන්ගෙන් ඉඩක් නොලැබුණු අතර, එහි ලකුණු තත්ත්වය දැක්වුණේ 25-21,27-25 ක් හා 25-22ක් ලෙසිනි.
මෙම තරගාවලිය දෙවැනි වතාවට පැවැත්වූවත් ශ්රී ලංකාව මේ සඳහා සුදුසුකම් ලබාගත්තේ පළමු වරට වේ.තරගාවලිය එළඹෙන 9 වැනිදා දක්වා පැවැත්වේ.