ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සත්කාරකත්වය යටතේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (06දා) නිමාවට පත් වූ 03 වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 20ක් සමගින් සමස්ත පදක්කම් 50ක් දිනා නොකඩවා තෙවැනි වරටත් පදක්කම් සටහනේ පෙරමුණේ රැඳෙමින් තරගාවලිය අවසන් කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
මෙහිදී රන් පදක්කම් 12ක් සමගින් පදක්කම් 41ක් දිනූ සත්කාරක ශ්‍රී ලංකාව තරගාවලි ඉතිහාසයේ අඛණ්ඩව තෙවැනි වරටත් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත්විය. එක් රිදී පදක්කමක් පමණක් දිනූ පාකිස්තානයට හිමි වූයේ පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයයි.
මෙවර තරගාවලියේදී දකුණු ආසියානු කනිෂ්ඨ වාර්තා 20ක් බිහිවූ අතර, ඉන් වාර්තා 07ක් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලයේ අරුණ දර්ෂණ මීටර 400 හා මීටර 200 ඉසව්වන්ගෙන් රන් පදක්කමක් දිනාගැනීමට සමත් වූ අතර, ඔහු මීටර 400 ඉසව්වෙන් වාර්තා කළ කාලය දකුණු ආසියානු කනිෂ්ඨ වාර්තාවක් (නව තරග වාර්තාවක්) විය.
එමෙන්ම ශ්‍රී ලංකා නායිකාව ලෙස කටයුතු කළ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ අමාෂා ද සිල්වාද, ඇය නියෝජනය කළ මීටර 100 හා මීටර 200 ඉසව්වන්හි රන් පදක්කම් දිනා ගත්තාය. ඇයද මීටර 100 ඉසව්වෙන් වාර්තා කළ කාලය දකුණු ආසියානු කනිෂ්ඨ වාර්තාවක් විය.
තරගාවලිය සඳහා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වන අතර, එහි වැඩිම සහභාගිත්වය වූ සත්කාරක ශ්‍රී ලංකාවෙන් 84 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි විය. මීට අමතරව ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින හා භූතානය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 200කට ආසන්න පිරිසක් සහභාගි වූහ.
මෙහි අවසන් වරට 2013 වර්ෂයේදී ඉන්දියාවේ රන්චිහිදී පැවැති තරගාවලියේදී රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 14ක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය හිමිවිය. එවරද ඉන්දියාව රන් පදක්කම් 20ක් සමගින් පදක්කම් 42ක් දිනා පදක්කම් සටහනේ පළමු ස්ථානය දිනාගත්තේය. කෙසේ නමුත් එම තරගාවලියේ ලෝකඩ පදක්කම් 03ක් දිනා බංග්ලාදේශය තෙවැනි ස්ථානය දිනාගත්තද, මෙවර ඔවුන්ට දිනාගත හැකි වූයේ ලෝකඩ පදක්කම් 02ක් පමණි. පාකිස්තානය මෙවර රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයට පත්විය.
සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණය කිරීමෙන් අනතුරුව පැවැති පළමු ජාත්‍යන්තර තරගාවලිය මෙය වූ අතර, ශ්‍රී ලංකාවේදී ජාත්‍යන්තර තරගාවලියක් පැවැත් වූයේද වසර 05කට පසුවය.
ඡායාරූප ළහිරු හර්ෂණ