ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඉන්දෝර් හොල්කාර් ක්‍රීඩාංගණයේදී අද (22දා) පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය.
කටාක්හිදී පැවැති පළමු තරගයෙන් ඉන්දියාව ලකුණු 93ක පහසු ජය ලබා තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවට තවදුරටත් තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගය ජය ලැබීම අනිවාර්ය වී තිබේ.
ශ්‍රී ලංකාව අද තරගයෙන් පරාජයට පත් වුවහොත් ඉන්දීය සංචාරයේ අංශ තුනෙන්ම තරගාවලි පරාජයට පත්වීමට සිදුවේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සංචාරයේ ටෙස්ට් තරගාවලිය තරග 0-1කින් සහ එක්දින තරගාවලිය තරග 1-2කින් මේ වනවිට පරාජයට පත්ව සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේදී වමතින් දඟපන්දු යවන චතුරංග ද සිල්වා කැඳවීමට බොහෝ දුරට ඉඩ තිබේ. පළමු තරගයට පිට දඟපන්දු යවන අකිල ධනංජය පමණක් දඟපන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කළේය. චතුරංග කැඳවුවහොත් වේගපන්දු යවන්නෙකුට කණ්ඩායමේ ස්ථානය අහිමි වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දෝර් ක්‍රීඩාංගණයේ තරගයකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වන අතර, මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගයද මෙය වේ. මීට පෙර ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 05ක් මෙම ක්‍රීඩාංගණයේ පවත්වා තිබේ.
ප්‍රේක්ෂකයන් 30,000කට තරගය නැරඹීමේ පහසුකම් තිබෙන මෙම ක්‍රීඩාංගණයේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පසුගිය සැප්තැම්බර් මස පැවැති එක්දින තරගය මෙහි පැවැති අවසන් ජාත්‍යන්තර තරගය වේ.
ඉන්දියාවේ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියක් වන ‘රංජි කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මෙම ක්‍රීඩාංගණයේදී මේ මස 29 වැනිදා සිට ජනවාරි 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය:- තිසර පෙරේරා (නායක), ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික්‍රම, අසේල ගුණරත්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, කුසල් පෙරේරා,
දසුන් ශානක, විශ්ව ප්‍රනාන්දු
ඉන්දීය සංචිතය:- රෝහිත් ශර්මා (නායක), ශ්‍රෙයාස් අයියර්, දිනේෂ් කාර්තික්, ජස්ප්‍රිට් බුම්රා, යුෂ්වෙන්ද්ර චාහල්, මහේන්ද්‍ර සිං දෝනි, බේසිල් තම්පි, දීපාක් හුඩා, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්, මනිෂ් පාන්ඩේ, හර්ද්‍රික් පාණ්ඩ්‍යා, ලෝකේෂ් රාහුල්, ජාදේව් උනද්කට්, වොෂින්ටන් සුන්දර්
යොහාන් භාසුර ඉන්දියාවේ සිට