බොට්ස්වානා රාජ්‍ය‘යේ ගැබරෝන්හිදී මෙම වසරේ ජූලි මසදී ආරම්භ වීමට නියමිත යොවුන් දැල්පන්දු ලෝක කුසලානය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පුහුණුකාරිනියන් තිදෙනෙකු නම්කර ඇතැයි 'අද'ට අනාවරණය වේ.
එහිදී ප්‍රධාන පුහුණුකාරීත්වය (Consultant Coach) හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිනියක වන හයසින්ත් විජේසිංහට පවරා ඇත. ඇයට අමතරව ජානකී ගුණසේකර හා කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දැල්පන්දු පුහුණුකාරිනිය වන අමල්කා ගුණතිලක යන අයද කණ්ඩායම පුහුණු කිරීම සඳහා නම් කර තිබේ.
ඒ අනුව හයසින්ත් විජේසිංහ මහත්මිය සමස්ත කණ්ඩායමේ පුහුණු වගකීම දරන අතර, ජානකී ගුණසේකර මහත්මියට 'සෙන්ටර් කෝට්' හා 'ඩිෆෙන්ස්' යන අංශවල ක්‍රීඩිකාවන් පුහුණු කිරීම භාරදී තිබේ. මීට අමතරව අමල්කා ගුණතිලක මහත්මියට විදින්නියන්ගේ කාර්යභාරය පුහුණු කිරීම භාරදී ඇත.
කෙසේ වෙතත් මේ වනවිට යොවුන් දැල්පන්දු ලෝක කුසලානය සඳහා පිටත්ව යන පිරිස සඳහා නිල නියෝජිත පිරිස 06ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ක්‍රීඩා අමාත්‍යාංශ නියෝජිතයන් නොමැතිවය. පුහුණුකාරිනියන් තිදෙනාට අමතරව, අභ්‍යාසක (Trainer) ලෙස ආනන්ද වන්නිතිලක, කණ්ඩායමේ කළමනාකරු ලෙස ජයන්ති සෝමසේකරම්, වෛද්‍යවරයා ලෙස ලාල් ඒකනායක නම් කිරීමට පියවර ගෙන ඇත.
මෙහිදී ට්‍රික්සි නානායක්කාර මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් දැල්පන්දු සංගමයේ (ඉදිරියේදී වැඩභාර ගැනීමට නියමිත සංගමය) ලේකම් ලෙස වැඩ භාරගැනීමට නියමිතව ඇති ජයන්ති සෝමසේකරම් කණ්ඩායම් කළමනාකාරීත්වයට නම් කිරීම ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කර තිබේ.
ඇය මීට පෙරද කළමනාකාරිනියක ලෙස කටයුතු කර තිබේ. කෙසේ නමුත් පත් නොවුණු සංගමයක ලේකම්වරියක් අදාළ ධුරයට පත්කිරීමත්, වත්මන් දැල්පන්දු පරිපාලනයෙන් ඒ පිළිබඳව විමසීමට පියවර නොගැනීමත් නිසා එම ගැටලු සහගත වාතාවරණය මතුව තිබේ.
මෙවර පත්කිරීම් සියල්ල ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදුකර ඇති අතර, ඔවුන් සියලුදෙනාට මාධ්‍ය‘යට මේ සම්බන්ධව කරුණු දැක්වීමේ වාරණයක් පනවා ඇතැයිද වාර්තා වේ.
කෙසේ වෙතත් මීට පෙර ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ කළමනාකාරිනිය ලෙස කටයුතු කළ ලයානි රේණුකා කුරුප්පු මහත්මිය, දකුණු කොරියාවේදී එම කර්තව්‍යය ඉතා හොඳින් සිදුකළ පසුබිමක ඇයගේ කළමනාකාරීත්වය ප්‍රතික්ෂේප කරමින් ඉදිරියේදී පත්වීමට නියමිත ලේකම්වරිය පත්කර ඇත්තේ කිහිපදෙනෙකුගේ වුවමනාවක් මත බවද කරුණු අනාවරණය වේ.
මේ අතර යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම තෝරා ගැනීමේ පළමු තේරීම් පරීක්ෂණය අද (24දා) කොළඹ ටොරින්ටන්හි ක්‍රීඩා නේවාසිකාගාරය අසළ කෘත්‍රිම දැල්පන්දු ක්රීඩාගාරයේදී ආරම්භ කිරීමට නියමිතය. දැල්පන්දු තේරීම් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශ නියෝජිතයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම තේරීම් තරග පැවැත්වේ.
මෙහිදී දැල්පන්දු තේරීම් කමිටුවේ සාමාජිකයන් ලෙස ප්‍රියංකා පීරිස් (සභාපති), සෝමා ඉලංගකෝන්, අරුණිකා කරවිටගේ, දීප්ති රූපසිංහ හා රෝහිණී පෙරේරා යන මහත්මීන් කටයුතු කිරීමට නියමිතය.
යොවුන් දැල්පන්දු ලෝක කුසලානයේ තේරීම් තරගවලින් ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගේ සංචිතයක් තෝරාගැනීමට නියමිත අතර, ඔවුන්ට ලබාදෙන සතියක පුහුණුවකින් පසුව අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනා නම් කිරීමට නියමිතය. මෙහිදී තේරීම් තරග සඳහා සහභාගි වන ක්‍රීඩිකාවන්ගේ උස පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන අතර, සියලු ක්‍රීඩිකාවන් වයස අවුරුදු 21 ට අඩු ක්‍රීඩිකාවන් විය යුතුය.
යොවුන් දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියක් පළමුවරට 1988 වසරේදී සංවිධානය වී ඇති අතර, මෙවර පැවැත්වෙන්නේ එහි 08 වැනි තරගාවලියයි. මෙහි අවස්ථා 03කදී ශූරියන් ලෙස නවසීලන්තයත්, අවස්ථා 04කදී ශූරියන් ලෙස ඔස්ට්‍රේලියාවත් කුසලානය දිනා ඇති අතර, අවසන් වරට 2013 වසරේ ජැමෙයිකාවේදී පැවති තරගාවලියේ ශූරියන් බවට පත්ව ඇත්තේ නවසීලන්තයයි. එවර ඔස්ට්‍රේලියාවට අනුශූරතාව හිමිවිය.
මෙවර තරගාවලිය බොට්ස්වානා රාජ්‍ය‘යේ ගැබරෝන්හිදී ජූලි මස 08 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන අතර, අප්‍රිකානු කලාපයේ යොවුන් දැල්පන්දු ලෝක කුසලානයක් පැවැත්වෙන පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක්වේ.