'නිදහස් කුසලාන' පන්දුවාර විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරග අද (12දා) ඇරඹේ. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන තරගයෙනි. පළමු වටයේ තරග අවසානයේදී කණ්ඩායම් තුනම එක් තරගය බැගින් ජය හිමිකරගත් නිසා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කණ්ඩායම් තුනටම තවමත් අවස්ථාව තිබේ. කෙසේ වෙතත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින අතර ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවේ.
පළමු වටයේදී දෙරට අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ කඩුලු 05ක පරාජයක් අත්විඳි ඉන්දීය කණ්ඩායම බලා සිටින්නේ පරාජයේ වාඩුව ගන්නටය. ඒ සඳහා ඔවුන් හොඳින් සූදානම් වී ඇතිවාට සැකයක් නැත. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශිකර් දවාන් මේ දක්වා ලකුණු අතර සිටියද අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් පරික්ෂාකාරී විය යුත්තේ නායක රෝහිත් ශර්මා ගැනය. ඒ රෝහිත්ට තවමත්, තමන් පිතිකරුවෙකු ලෙසින් ගොඩ නගාගෙන සිටින ප්‍රතිරූපයට සරිලන ඉනිමක් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු හෙයිනි.
යම් හෙයකින් ඔහුට අද තරගයේ දී ඒ සඳහා අවස්ථාවක් හිමිවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු සැලසුම් සුනුවිසුනු කරනු නොඅනුමානය. තවද, නැවත වරක් ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් සොයමින් සිටින සුරේෂ් රයිනාද බලා සිටින්නේ ඒ සඳහා ඔහුට අවස්ථාවක් හිමිවන තුරුය.
දෙරට අතර පැවැති පළමු තරගයට පෙරාතුව අප සඳහන් කර සිටියේ ඉන්දීය කණ්ඩායමේ පාදඟ පන්දු යවන චාහල්ට කඩුලු ලබානොදිය යුතු බවයි. මන්ද වර්තමාන ඉන්දීය කණ්ඩායමේ කඩුලු දවාගන්නා දඟපන්දු යවන්නා චාහල් බැවිණි. ඔහුට කඩුලු නොලැබුණහොත් ඉන්දීය කණ්ඩායම නියත වශයෙන්ම පීඩනයට හසුවේ. එහෙයින් ඔහුගේ පන්දුවාර හතරට කඩුලු ලබානොදී ලකුණු 40ක් වත් රැස්කරගන්නට හැකිවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කරගන්නට හෝ විශාල ලකුණු සංඛ්‍යාවක් පසුපස හඹා යන්නට එතරම් ගැටලුවක් නොවනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු වටයේ තරග දෙක තුළදීම පිතිකරුවන් සිය දායකත්වය මැනවින් ලබාදුන්නද පන්දු යවන්නන්ගෙන් තවමත් සැලකිය යුතු මට්ටමේ දායකත්වයක් නම් නොලැබුණි. බංග්ලාදේශය සමග පැවැති තරගයේදී ලකුණු 214 ආරක්ෂා කරගන්නට අපොහොසත් වීම ඉන් කැපී පෙනේ.
කෙසේ වෙතත් ආර්. ප්‍රේමදාස පිටියේදී දෙවැනි වරට පන්දු යැවීම තරමක් දුෂ්කරය. ඒ පින්නේ බලපෑම නිසාය. පින්න හේතුවෙන් පන්දුව ලිස්සා යෑමට වැඩි අවස්ථාවක් පවතින හෙයින් පන්දු යවන්නන්ට නියමිත ස්ථානයේ පන්දුව පතිත කිරීම දුෂ්කරය. මේ නිසා පිතිකරුවන්ගේ දරුණු ප්රහාරයන්ට ලක්වන්නට පන්දු යවන්නන්ට සිදුවේ.
එහෙයින් කාසියේ වාසිය හිමිකරගතහොත් ප්‍රථමයෙන් පන්දු යැවීම නුවණට හුරුය. ඒ ප්‍රේමදාස පිටියේ ඉලක්කයක් පසු පස හඹා යෑම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට වඩා පහසු බැවිනි. බංග්ලාදේශය සමග පැවති තරගයේදී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට තරග දෙකක තහනමක් පනවා ඇත. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තිසර පෙරේරා වෙත පැවරී ඇත.