ආනන්ද වෙඩිසිංහ මහතා ජපානයට රැගෙන යෑම සඳහා රුපියල් කෝටි 3කට අධික මුදලක් වැයවෙන බවට ගණන් බලා තිබුණ නමුත් ඒ සඳහා අවශ්‍ය මුදල් ජනපති අරමුදලින් ලබාගැනීමට හැකියාවක් නොතිබුණ බවත් ඔහු පැවැසීය.
ඊයේ (04දා) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රිඩා අමාත්‍යවරයා,
“ආනන්ද වෙඩිසිංහගේ මරණය ගැන මම බොහෝ කණගාටු වෙනවා. මම ඔහුව බොහෝ කලක සිට හඳුනනවා. මීට පෙර පැවති ෆොක්ස් හීල් තරගාවලියේදීත් මට ඔහුව මුණගැසුණා. එදා මම ඔහුට ත්‍යාගයකුත් ප්රදානය කළා. මේ සිදුවීම වුණු පසු නුවර එළිය රෝහලේ සිට නාගරික මන්ත්‍රී ඇල්ලේපොල මහතා විසින් මාව දැනුවත් කළා. ඒ හැර කිසිවෙක් මාව මේ පිළිබඳ දැනුවත් කළේ නැහැ.
මම ඒ මොහොතේම අපේ වෛද්‍යවරුන් හරහා නුවර එලිය රොහලේ වෛද්‍යවරුන්ව සම්බන්ධ කරගනිමින් ඔහුව මහනුවර රෝහල වෙත ගෙන ඒමට අවශ්‍ය කටයුතු යෙදුවා. ඒ එක්කම මහනුවර රෝහලේ ඔහු වෙනුවෙන් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් සූදානම් කිරීමටත් අප කටයුතු යෙදුවා. ඉන්පසු දිනක මම ඔහුව බැලීමට ගියා.
එවිට වෛද්‍යවරුන් පැවසුවේ ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බවත් ජපානය වැනි රටකට ගෙන ගොස් ප්‍රතිකාර කිරීම සුදුසු බවත්. ඉන්පසු මම ජපාන තානාපතිතුමන් හමුවී මේ පිළිබඳව පවසා ඔහුව ජපානයට රැගෙන යාමට උදවු ඉල්ලුවා. වෙඩිසිංහගේ බිරිදට ජපාන තනාපතිතුමන් හමුවීමට පැමිණෙන ලෙසත් කියා තිබුණා. නමුත් එහි සාර්ථක ප්‍රථිපලයක් ලැබී තිබුනේ නැහැ. ආනන්ද වෙඩිසිංහව ජපානයට රැගෙන යාමට රුපියල් තුන්කෝටි අනු ලක්ෂයක් අවශ්‍යවෙනවා. එතරම් මුදලක් ක්‍රීඩා අමාත්‍යංශය සතුව නැහැ. අද චෝදනා කරන කවුරු හරි ඉදිරිපත්වෙලා සුපර් ක්‍රොස් වැනි තරගාවලියක් සංවිධානය කළා නම් මේ මුදල හොයාගන්න තිබුණා.
නමුත් එවැන්නක් සිදුවුනෙත් නැහැ. අතිගරු ජනාධිපතිතුමාත් මට කතා කරලා ජනාධිපති අරමුදලෙන් මුදල් දීලා මෙය කරන්න උත්සහ කළත් එතරම් මුදලක් ජනාධිපති අරමුදලෙන් ලබාගන්නත් පුළුවන්කමක් තිබුනේ නැහැ. කෙසේ වෙතත් ජනාධිපති අරමුදලෙත් සල්ලි හොයාගෙන ඔහුව ජපානයට ගෙනයන්න සූදනම් වන මොහොතේ තමයි වෙඩිසිංහ මේ ආකාරයට මියගියේ.
මෙය ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කළ තරගාවලියක් නෙවෙයි. මෙය සංවිධානය කර තිබුණේ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය විසින්. කෙසේවෙතත් මේවන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශකයකු වන මිල්ටන් අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත්කර මේ පිළිබඳව අපි කරුණු සොයා බලනවා. විශේෂයෙන්ම වෙඩිසිංහ මහතා අනතුරට ලක්වූ තරගාවලියේ අනතුර සිදුවීමට හේතු වුනේ කුමක්ද? එහි වෛද්‍ය පහසුකම් සලසා තිබුණාද? ආරක්ෂක විධිවිදාන සලාසා තිබුණා ද කියන කාරණය පිළිබඳ මෙම කමිටුව විසින් සොයා බලනු ඇති.
ඒ වගේම මෙම සිදුවීමෙන් පසු මම තීරණයක් ගත්තා ආරක්ෂක විධිවිධාන සියයට සියයක් සපුරා නැති, ප්‍රථමාධාර පහසුකම් සියයට සියයක් නැති, ක්‍රීඩකයින්ට රක්ෂණ ආවරණයක් නැති තරග සඳහා අවසර නොදීමට. මෙම තරගයේදීත් වෙඩිසිංහ වෙනුවෙන් හිමිවන රක්ෂණ මුදල රුපියල් ලක්ෂ දහයයි. එය ප්‍රමාණවත් මුදලක් නොවෙයි. ඒ නිසා විශාල අවධානමක් ඇති මෙම ක්‍රීඩාවට මීට වඩා රක්ෂණ ආවරණයක් හිමිවිය යුතුයි. ඒ වගේම මෙවැනි තරගාවලිවලින් එකතුවනු මුදලින් ක්‍රීඩකයින්ට අනතුරක් සිදුවන අවස්ථාවල මුදලක් ලබාගැනීමට හැකි අරමුදලක් සැකසීමට අප ඉදිරියේදී කටයුතු කරනු ලබනවා” යැයි පැවැසීය.