ශ්රී ලංකා රග්බි සම්මේලනයේ අද (30දා) පැවැත්වීමට තිබූ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. ඒ සම්මේලනයේ විගණන වාර්තා තවමත් නොලැබීම හේතුවෙනි. මේ හේතුවෙන් නිලවරණය සති කිහිපයකින් ප්රමාද විය හැකි බව ශ්රී ලංකා රග්බි සම්මේලනයේ ලේකම් නසීම් මොහොමඩ් මහතා %අද^ කළ විමසීමකදී පැවසීය.
"විගණකාධිපතිවරයා සංගමයේ විගණනය කරල තාම අවසන් නෑ. ඔහු කිව්වා මේක ඉක්මනට අවසන් කරල දෙන්නම් කියල. ඒ නිසා නිලවරණය පවත්වන කාලයක් අපිට කියන්න බෑ" යැයි මේ පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා රග්බි සම්මේලනයේ නාමයෝජනා භාර ගැනීම මෙම මස ඉකුත් 08 වැනිදා අවසන් වූ අතර, එහිදී සියලු තනතුරු සඳහා එක් නාමයෝජනාව බැගින් ලබාදීම නිසා සියලු තනතුරු නිතරගයෙන් තේරී පත්වීමට නියම වී තිබිණි.
එහිදී සම්මේලනයේ සභාපති ධුරය සඳහා හිටපු උපසභාපතිවරයෙකු වූ ලසිත ගුණරත්න හා ලේකම් ධුරය සඳහා හිටපු ලේකම්වරයා වූ නිශාම් මොහොමඩ් යන මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබිණි.