රෝස පැහැති පන්දුව භාවිත කරමින් ශ්‍රී ලංකාව සහභාගිවන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස්කිරීමට ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත්විය. ඒ අනුව දිවා රාත්‍රී ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ශතකය රැස්කළ පළමු පිතිකරු ලෙස දිමුත් ඉතිහාසයට එක්වෙනු ඇත.
මෙය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන හය වැනි දිවා රාත්‍රී ටෙස්ට් තරගය වෙයි. පාකිස්තානය ක්‍රීඩා කරන තෙවැනි දිවාරාත්‍රී ටෙස්ට් තරගයද මෙය වෙයි. ඩුබායිහිදී ඊයේ (06දා) ආරම්භ වූ තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව පන්දුවාර 90කදී කඩුලු තුනකට ලකුණු 254ක් රැස්කරෙගන සිටිය. දිමුත් කරුණාරත්න 133* හා දිනේෂ් චන්දිමාල් 49* නොදැවී පිටියේ රැඳී සිටිති.
පාකිස්තානය වෙනුවෙන් යසීර් ෂා කඩුලු දෙකක් හා මොහොමඩ් අමීර් එක් කඩුල්ලක් දවා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයේදී සදීර සමරවික්‍රම ටෙස්ට් වරම් හිමිකරුගත් අතර අංක තුන පිතිකරුවා ලෙස පැමිණි ඔහු ලකුණු 39ක් ලබාගත්තේය. එම ඉනිමට හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් ඇතුළත්විය. දැවී ගිය අනෙකුත් ක්‍රීඩකයන් වූ කෞෂාල් සිල්වා ලකුණු 27ක් හා කුසල් මෙන්ඩිස් එක් ලකුණක් ලබාගත්තේය.
අද (07දා) තරගයේ දෙවැනි දිනයයි. මේ අතර අද දිනයේදී චන්දිමාල් තවත් ලකුණු 83ක් රැස්කළ හොත් ඔහුට ලකුණු 3000 සීමාව ඉක්මවා යෑමට හැකියාවක් පවතින අතර දිමුත්ට ඒ සඳහා අවශ්‍ය ඇත්තේ තවත් ලකුණු 10ක් පමණි.
ඊයේ දිනයේ විශේෂතා
මේ වසරේදී දිමුත් ටෙස්ට් ලකුණු 870ක් මේ දක්වා රැස්කරගෙන තිබේ. ඒ අනුව ඔහු මේ වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයේ පසුවෙන්නේ ඩීන් එල්ගාර්ට හා හෂීම් අම්ලාට පසුවයි.
ටෙස්ට් තරග දෙකේදී දිමුත් හා චන්දිමාල් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතා දෙකක් වාර්තා කිරීමට සමත්වූ අතර ඉන්දියාව හා පැවැති තරගාවලියේදී ඔවුන් ඉනිම හයේදීම පැවැත්වූයේ ලකුණු 77ක සබඳතාවකි.
කරුණාරත්න මේ වසරේදී දැනට ටෙස්ට් ශතක තුනක් රැස්කර ඇති අතර ආරම්භක පිතිකරුවෙක් එසේ ටෙස්ට් ශතක තුනක් රැස්කළේ 2012 වසරේදී තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පසුවයි. ඩිල්ෂාන් 2009 වසරේදීත් එම දක්ෂතාව දක්වා තිබුණි.