අන්තර් පාසල් ලීග් රග්බි (19න් පහළ) තරගාවලියට ක්‍රීඩා කරන පාසල් කිහිපයක් සහභාගි වන ඉදිරි තරග සඳහා විනිසුරුවරුන් ලබා නොදීමට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.
කොළඹ වෙස්ලි, මරදාන සහිරා හා කුරුණෑගල මලියදේව විදුහල් සහභාගි වන කිසිදු තරගයක් සඳහා මෙලෙස තාවකාලිකව විනිසුරුවන් ලබා නොදීමට රග්බි විනිසුරුවන්ගේ සංගමය තීරණය කළ බව ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සම්මේලනයේ සභාපති නිශාම් ජමල්ඩීන් මහතා 'අද' පුවත්පත සමග පැවසීය.
වෙස්ලි හා කුරුණෑගල මලියදේව විදුහල් සඳහා මෙලෙස විනිසුරු වාරණයක් සිදු කිරීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ පසුගිය සතියේ පැවැති ඔවුන් සත්කාරකත්වය දැරූ ලීග් රග්බි (19න් පහළ) තරගාවලියේ තරග කිහිපයකදී ප්රේක්ෂකයන්ගෙන් විනිසුරුවන්ට එල්ල වූ අයහපත් බලපෑම් හේතුවෙනි.
කොළඹ සහිරා විදුහලේ තරගවලට විනිසුරුවන් සැපයීම තහනම් කර ඇත්තේ එහි ප්‍රධාන පුහුණුකරු වූ ෂම්ලි නවාස් විසින් තරගාවලියේ විනිසුරු තීරණ ප්‍රසිද්ධ මාධ්‍යයේ විවේචනය කිරීම නිසා බව ජමල්ඩීන් මහතා වැඩිදුරත් ප්‍රකාශ කළේය. මේ අනුව මෙම පාසල් සත්කාරකත්වය දරන හෝ සහභාගි වන කිසිදු වයස් කාණ්ඩයක රග්බි තරගයකට තාවකාලිකව විනිසුරුවන් ලබා නොදීමට සිය සංගමය තීරණය කළ බව හෙතෙම මෙහිදී පැවසීය. මෙයින් විනිසුරුවන්ට එල්ල වූ අයහපත් ප්‍රේක්ෂක බලපෑම පිළිබඳ ආසන්නතම සිදුවීම පසුගියදා (19දා) කොළඹ සී.ආර්. ඇන්ඩ්එෆ්.සී. පිටියේදී පැවැති රාජකීය - වෙස්ලි තරගයේදී වාර්තා වූ අතර, එහිදී දෙවැනි අර්ධයේ 25 වැනි මිනිත්තුවේදී ප්රේක්ෂකයන්ගෙන් විනිසුරුවන්ට එල්ල වූ අයහපත් තර්ජන හා බැණ වැදීම් හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට තරගයේ විනිසුරු වූ ඩින්කා පීරිස් මහතා ක්‍රියා කළේ තරග තීරකවරයා වූ නිරෝධ විජේරාම මහතාගේ උපදෙස් පිටය.
කෙසේ වෙතත් මේ අතරතුරදී තරගයේ සත්කාරකත්වය දැරූ වෙස්ලි විදුහලේ සංවිධායක කමිටු සාමාජිකයෙකු විනිසුරුවරයාට, තරගය හොඳින් විනිශ්චය නොකළ බව පවසා චෝදනා කර ඇත. එහිදී විනිසුරුවරයා නැවත තරගය ආරම්භ නොකිරීමට සූදානම් වුවත්, පසුව තරග සංවිධායකයන් අදාළ සිදුවීම පිළිබඳ කනගාටුව පළකොට තරග විනිසුරුවරුන්ට ආරක්ෂාව සපයන බවට සහතික වීමෙන් පසු නැවත තරගය පැවැත්වීමට විනිසුරුවරයා තීරණය කළේය. කෙසේ නමුත් තරගය නිමා වීමෙන් අනතුරුවද ආරක්ෂකයන් විසින් විනිසුරුවරයා පිටියෙන් ඉවතට ගෙන යද්දීද ප්‍රේක්ෂකයන් විනිසුරුට තර්ජන හා බැණවැදීම් සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක් වූ ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සම්මේලනයේ සභාපති නිශාම් ජමල්ඩීන් මහතා පැවසුවේ තරගාවලියේ පසුගිය සතියේ පැවැති ඉසිපතන- කිංග්ස්වුඩ් තරගය අතරතුරදීද මෙවැනි සිදුවීමක් වාර්තා වූ බවත්, මේ සම්බන්ධව
ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයට තමන් විසින් ලිඛිතව දැනුම් දුන් බවත්ය.
කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවීම නිසා තම සම්මේලනයේ විනිසුරුවන්ගේ ආරක්ෂාව සලසා ගැනීම පිණිස මෙම තීරණයට එළඹි බව ඔහු පැවසීය. මෙය තාවකාලික තීරණයක් බවද හෙතෙම පැවසීය. මේ ආකාරයෙන්ම තරග විනිසුරුට තර්ජනය කිරීමේ සිදුවීමක් පසුගියදා (18දා) කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මලියදේව හා ගල්කිස්ස ශා. තෝමස් අතර තරගයේදීද වාර්තා විය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ ජමල්ඩීන් මහතා, "අපි විනිසුරුවරුන්ගෙත් ආරක්ෂාව බලන්න ඕන. විනිසුරුගේ මොකක්හරි වැරැද්දක් තියෙනවා නම් ඒකට ලෝක රග්බි සම්මේලනයෙන් පවා නියම කරල තියෙන ක්‍රමවේදයක් තියෙනවා. පසුගිය සතියේදී ඉසිපතන - කිංග්ස්වුඩ් අතර තරගයේදීත් මෙවැනි සිදුවීමක් වාර්තා වුණා. අපි මේ පිළිබඳ පාසල් රග්බි සම්මේලනයත් දැනුවත් කළා. ඔවුන්ගේ තීරණය එනකන් තමයි අපි බලන් ඉන්නේ. මේ වගේ සිදුවීම් දිගින් දිගටම වෙනව නම් අපිට බලන් ඉන්න බෑ" යනුවෙන් පැවසීය.
මේ අතර සහිරා විදුහලේ පුහුණුකරුගේ ක්‍රියාව සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජමල්ඩීන් මහතා, "ඔහු පසුගියදා පැවැති සහිරා හාශා. ජෝශප් අතර තරගයෙන් අනතුරුව තරගයේ විනිසුරු තීරණ විවේචනය කරල මාධ්‍යයකට ප්‍රකාශ නිකුත් කරල තිබෙනවා. අන්තර්ජාතික රග්බි සම්මේලනයේ නීතිරීතිවලට අනුව ඔහුට (සහිරා රග්බි පුහුණුකරු) එහෙම ප්‍රසිද්ධ මාධ්‍යයකට විනිසුරුව විවේචනය කරල ප්‍රකාශ නිකුත් කරන්න බෑ. මේ පිළිබඳවත් අපි පාසල් සංගමයට ලිඛිතව පැමිණිලි කරල තිබෙනවා".
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයේ ලේකම් නිරෝධ විජේරාම මහතා පැවසුවේ ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සම්මේලනය මගින් විනිසුරුවන් ලබා නොදීම පිළිබඳ ලිඛිත දැනුම්දීමක් සිය සංගමයට නොකළ බවයි.
කෙසේ නමුත් විජේරාම මහතා විනිසුරුවන්ගේ ගැටලුව ඇති වූ වෙස්ලි - රාජකීය තරගයේ තරග තීරකවරයා ලෙසින්ද කටයුතු කළ අතර, මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ තමන්ද මේ වන විට වාර්තාවක් ඉදිරිපත් කොට ඇති බවත්, තරග විනිසුරුගේ හා කණ්ඩායම්වල වාර්තාද සලකා බලා ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සලකා බලන බවත් හෙතෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා සිද්ධියට සම්බන්ධ පාසල් , විනිසුරුවන් සමගින් අද (23) සාකච්ඡාවක් සිදු කරන බව ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා 'අද' පුවත්පතට පැවසීය.