අග්නිදිග ආසියානු 'සී ගේම්ස්' සඳහා පෙර පුහුණු තරගාවලියකට (තරග 05කට) මෙරටට පැමිණි තිලකා ජිනදාස මහත්මියගේ පුහුණුකාරීත්වයෙන් යුත් බෘෘනායි දැල්පන්දු කණ්ඩායම සමග පැවැති අවසන් තරගය සඳහා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ නිල ක්‍රීඩිකාවන් පස්දෙනෙකු පමණක් එක්ව සිටීමෙන් කනගාටුදායක සිද්ධි මාලාවක් 'අද'ට වාර්තා විය.
මෙහිදී යොවුන් ලෝක කුසලාන දැල්පන්දු සංචිතයේ පවා නොසිටි ක්‍රීඩිකාවන් එක්තරා පුහුණුකාරිනියක විසින් අවසන් තරගයට රැගෙන ඒමෙන් ගැටලු රාශියක් මතුව තිබුණි.
විශේෂයෙන් මෙවැනි තරගාවලියක් පැවැත්වීමේදී යොවුන් දැල්පන්දු කණ්ඩායමේ කළමනාකාරිනියට හා පුහුණුකාරිනියට ක්‍රීඩිකාවන් නිසි පරිදි කළමනාකරණය කිරීමේ වගකීම පැවරී තිබුණත්, එය ඔවුන් අතින් ඉටුනොවීම ශෝචනීයය.
පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්රීඩාගාරයේදී පසුගියදා (28දා) පැවැති තරගාවලියේ අවසන් තරගයට සහභාගි වීමට ක්‍රීඩිකාවන්ට එදින උදෑසන 9.00ට ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරයට පැමිණෙන ලෙස දැනුම්දී තිබුණද, පුහුණුකාරිනී ජානකී ගුණසේකර හා යොවුන් දැල්පන්දු ලෝක කුසලානයට සහභාගි වූ ක්‍රීඩිකාවන් 05 දෙනෙකු පමණක් නියමිත පරිදි එම ස්ථානයට පැමිණ තිබුණි.
කෙසේ වෙතත් සවස 4.00ට පැවැත්වීමට නියමිතව තිබූ තරගයක් වෙනුවෙන් ක්‍රීඩිකාවන්ට උදෑසන 9.00ට පැමිණෙන ලෙස දැනුම් දුන්නේ කාගේ නියෝගයක් මතද යන්න ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. කෙසේ වෙතත් අවසන් තරගය නියමිත වේලාවට වඩා පැයක් පමණ (සවස 5.00) ප්‍රමාද වී ආරම්භ කිරීමට සිදු වූයේ එක්තරා පුහුණුකාරිනියක තම පාසලේ ක්‍රීඩිකාවන් මෙම තරගයට සහභාගි කිරීමට ගත් උත්සාහයක් හේතුවෙන් බව පැහැදිලි විය.
ක්‍රීඩිකාවන් මෙම තරගයට නොපැමිණෙන්නේ නම් පාසල් ක්‍රීඩිකාවන් රැගෙන ඒමට ඇයට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතියක් ලබාදී නොමැති අතර, එසේ නම් එවැනි බලයක් ඇයට යොවුන් කණ්ඩායම තුළ කටයුතු කිරීමට ලබාදුන්නේ කවුරුන්ද යන්න ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.
මෙම තරගයේදී ආසියානු යොවුන් තරගාවලියට මෙන්ම ලෝක කුසලාන යොවුන් තරගාවලියටද නම්කර තිබූ යුද හමුදා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් සිටියදී එම පුහුණුකාරිනිය ඇයව තරගයට සහභාගි නොකරමින් (පළමු, දෙවැනි හා තෙවැනි කාර්තුවල) සිය පාසල් ක්‍රීඩිකාවන් තරගයට යෙදවීම පිළිබඳ ගැටලු රාශියක් මතුවිය.
ඉන් පළමු වැන්න වන්නේ සංචිතයකවත් නොසිටි ක්‍රීඩිකාවන් යොවුන් දැල්පන්දු කණ්ඩායමට රැගෙන ඒමට ඇයට බලය දුන්නේ කවුරුන්ද යන්නය. දෙවැන්න සංචිතයේ සිටි ක්‍රීඩිකාවක සිටියදී ඇයගේ පාසල් ක්‍රීඩිකාවන්ට විශේෂයක් කරමින් ක්‍රීඩා කිරීමට ඉඩ ප්‍රස්තාව වෙන්කර දුන්නේ ඇයිද යන්නය.
මෙම පුහුණුකාරිනියගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් හා පක්ෂපාතීත්වය හේතුවෙන් යොවුන් දැල්පන්දු ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම විරෝධය දක්වා අදාළ අවසන් තරගයට සහභාගි නොවීමද කනගාටුවට කරුණකි. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ පිළිබඳව විනිවිද පරීක්ෂණයක් කර, එම පුහුණුකාරිනිය මෙලෙස කටයුතු කිරීමට එරෙහිව පියවර ගන්නේ නම් එය මෙරට අනාගත දැල්පන්දුවට වඩාත් හිතකර වනු ඇත.
විශේෂයෙන් අවසන් තරගය අතරතුරදී යොවුන් දැල්පන්දු සංචිතයේ සිටි යුද හමුදා ක්‍රීඩිකාවට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදී, පාසල් ක්‍රීඩිකාවන් අනුයුක්ත කිරීමෙන් දැඩි ශෝකයට පත් එම යුද හමුදා ක්‍රීඩිකාව හැඬුම්බරව පිටියෙහි සිටිනුද දැකගත හැකිවිය. පසුව ඇයව අවසන් කාර්තුවේදී ඇය ක්‍රීඩා නොකරන ස්ථානයක තබා ක්‍රීඩා කරවීමට පුහුණුකාරිණිය පියවර ගෙන තිබේ.
අප මේ පිළිබඳව යොවුන් දැල්පන්දු පුහුණුකාරිනියගෙන් විමසා සිටි අතර, ඇය පැවසුවේ එම ක්‍රීඩිකාවට කිසිදු අසාධාරණයක් සිදුනොවුණු බවත්, අවසන් කාර්තුවේදී ඇයව ක්‍රීඩා කරවීමට පියවර ගත් බවත්ය.
එමෙන්ම යොවුන් ක්‍රීඩිකාවන් අවසන් තරගයට සහභාගි නොවීම කනගාටුවට කරුණක් බවත්, එහෙත් ජාත්‍යන්තරය ඉදිරියේ රට හෑල්ලුවට පත්වන හෙයින් තේරීම් තරගවලට පැමිණි ක්‍රීඩිකාවන්ගෙන් ක්‍රීඩා කිරීමට සිදු වූ බවත් ඇය පවසා සිටියාය.
ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම මෙවැනි තරගාවලියකට සහභාගි වනවිට එහි පූර්ණ වගකීම දැල්පන්දු සංගමය, කළමනාකරු හා පුහුණුකාරිනිය ගත යුතුය. එම වගකීමෙන් ඔවුන්ට මිදිය නොහැකිය.
එහෙත් අවසන් තරගයට ක්‍රීඩිකාවන් (නිල සංචිතයේ සිටි) 05ක් පමණක් සහභාගි වීමත් එක්තරා පුහුණුකාරිනියකගේ නොගැළපෙන හැසිරීමත් යනාදි කාරණා සම්බන්ධයෙන් වත්මන් දැල්පන්දු පරිපාලනයද වගකිව යුතුය. ඔවුන් ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකර, එහි සත්‍ය තොරතුරු අදාළ අමාත්‍යාංශ වෙත දැන්විය යුතුය. එසේ නොවුණ හොත් සිදුවන්නේ රටට කීර්තිය ගෙනා දැල්පන්දුවට යළි අපකීර්තියට පත්වීම පමණි.