යොවුන් දැල්පන්දු ලෝක කුසලානය සඳහා ක්‍රීඩිකාවන් තොරා ගැනීමේ තේරීම් තරගය පසුගියදා කොළඹ ටොරින්ටන් හි ක්‍රීඩා නේවාසිකාගාරය අසල කෘත්‍රිම දැල්පන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මේ සඳහා ක්‍රීඩිකාවන් 59 දෙනෙකු සහභාගි වී සිටි අතර, අවසන් 20 දෙනාගේ සංචිතයද එම අවස්ථාවේදීම ප්‍රකාශයට පත් කෙරිණි.
කෙසේ වෙතත් දකුණු කොරියාවේ පැවැති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ආබාධයට ලක්ව සති 06ක කාලයක් විවේක ගැනීමට උපදෙස් ලැබුණු හංසිමා දිසානායක ක්‍රීඩිකාව හා එම තරගාවලියට සහභාගි නොවුණු තවත් ක්‍රීඩිකාවක් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් තේරීම් තරග සඳහා සහභාගි නොවුණි.
ඔවුන් අවසන් 20 දෙනාගේ සංචිතය සමග පුහුණුවීම් සිදුකරන අතර, යොවුන් දැල්පන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුනට හිමිවනුයේ අබාධ සම්බන්ධයෙන් ලබාදෙන වෛද්‍ය වාර්තා අනුවය. කෙසේ වෙතත් අවසන් 20 දෙනාගේ පුහුණුවීම් ලබන සඳුදා ඇරඹෙන අතර, ඔවුනට එහිදී පුහුණුවීම් කිරීමේ අවස්ථාවද උදා වී තිබේ. මේ අතර ආසියානු යොවුන් දැල්පන්දු පරාජිත කණ්ඩායමේ බහුතරයක් ක්‍රීඩිකාවන් මෙම සංචිතයටද නම්කර තිබේ.
තේරීම් තරග සඳහා දිවයින පුරා පිහිටි පාසල්වලින් හා ක්‍රීඩා සමාජවලින් ක්‍රීඩිකාවන් (වයස අවුරුදු 21ට අඩු) 59 දෙනෙකු සහභාගි වී සිටි අතර, අවසන් 20 දෙනාගේ සංචිතයට නවක ක්‍රීඩිකාවන් (පාසල් ක්‍රීඩිකාවන්) 08 දෙනෙකු කැඳවා තිබීමද සුවිශේෂීය.
ඡායාරූප ඉසුරු පෙරේරා
තෝරාගත් සංචිතය
බිමන්‍යා රත්නායක (කාන්තා විද්‍යාලය), නටාෂා අළුවිහාරේ (මහනුවර හිල්වුඩ් විද්‍යාලය), රශ්මි දිව්‍යාංජලී (ප්‍රෙස්බිටේරියන් විද්‍යාලය), එච්. ඩී.එන්.ටී.එම්. හපුආරච්චි (නාවික හමුදාව), පූර්ණි ලක්ෂාණි ගමගේ (යුද හමුදාව), මන්දිරා චාරුණී සම්පත් (සෙලාන් බැංකුව), රෂ්මි නිර්මාණි (සී.ඩී.බී. ෆිනෑන්ස්), කවීනා රාජපක්ෂ, මල්ෂා සත්සරණි (සෙලාන්), සචිනි හිරුණිකා (යුද හමුදා), හෂිනි පෙරේරා ( යුද හමුදා), නදී මධුෂිකා ප්‍රනාන්දු, ආලෝකා උදානි දිසානායක (මහනුවර උසස් බාලිකා විද්‍යාලය), ඩිල්ෂාණි කවීෂා (ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමය), සුසීමා කුමාරි බණ්ඩාර (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), මෙලනි විජේසිංහ (කොළඹ විශාකා විද්‍යාලය), සෙත්මි ධනෝෂි (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), ඉමේෂා නිර්මාණි (නාවික හමුදා), ගාන්යා සේනානායක (කාන්තා විද්‍යාලය), හංසිමා දිසානායක (වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තේරිම්වලට සහභාගි නොවුණි)