දකුණු කොරියාවේ ජොංජු නුවරදී පසුගියදා (13දා) නිමාවූ ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අන්ත පරාජය පිටුපස තරග පාවාදීමක් සිදුව ඇතැයි 'අද' ට වාර්තා වේ.
නායකත්වය නොලැබීම, කල්ලි ගැසී ක්‍රීඩා කිරීම, ක්‍රීඩිකාවන් අතර විශේෂීකරණයක් (ෆේවරේෂන්) තිබීම මෙම තරග පරාජයේ ප්රබලතම සාධක ලෙස පෙන්වාදිය හැකි අතර එම හේතු පදනම් කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සමහර ක්‍රීඩිකාවන් තරග පාවාදීමේ උත්සාහයක නිරතව ඇතැයි සැකයක් පහළ වී තිබේ.
ශ්‍රී ලංකාව තරග කළ තායිලන්තය, සිංගප්පූරුව හා හොංකොං (තෙවැනි ස්ථානය තෝරාගැනීමට පැවති තරග) යන තරග අවධානයෙන් යුතුව නැරඹුවේ නම් තරග පාවාදීම සම්බන්ධයෙන් වන සැකයට තුඩුදෙන කාරණා රාශියක් දැකගත හැකිව තිබුණි. එහිදී පන්දුව ඕනෑකමින් ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ට පිරිනැමීම සුලබව දැකිය හැකි සිදුවීමක් වූ අතර යහළුවන් සොයා සොයා පන්දුව පිරිනැමීමේ අමුතු න්‍යායක්ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් විද්‍යමාන විය.
එමෙන්ම එක් ප්‍රබල ක්‍රීඩිකාවක් කණ්ඩායමට ක්‍රීඩා කිරීම නොරිස්සු තවත් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු මෙලෙස තරග පාවාදීමට කටයුතු කර ඇතැයිද චෝදනාවක් වේ. එනිසා මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් වහා පරීක්ෂණයක් සිදුකර අදාළ ක්‍රීඩිකාවන්ට නිසි දඬුවම් ලබාදීමට පියවර ගත යුතුය.
මේ අතර කණ්ඩායම සමග දකුණු කොරියාවට ගිය නිලධාරීන්ගෙන් සමහර නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක්විය. විශේෂයෙන් පුහුණු සැසි අවලංගු කිරීම, අනෙකුත් ප්‍රබල කණ්ඩායම් ක්‍රීඩා කරන තරග නැරඹීමට නොපැමිණීම යනාදී කාරණා එම නිලධාරීන්ගේ ඍජු අනුදැනුම මත ගත් තීන්දු තීරණ හෙයින් ඒ පිළිබඳවද කණ්ඩායමේ කළමනාකාරිනියගෙන් වාර්තාවක් ලබාගෙන එවැනි පටු අදහස් දරන නිලධාරීන් විදෙස් තරග සංචාර සඳහා එක් කිරීම වැළැක්විය යුතුය.
කණ්ඩායම් නායකත්වය ඉල්ලා එක් ක්‍රීඩිකාවකගේ පාර්ශ්වයෙන් ගෙන ගිය සටන අතරමැද අත්හැර දැමීමට සිදුවීම නිසා තරග පාවාදීමට ක්‍රීඩිකාවන් කටයුතු කර ඇත්දැයි යන්න විනිවිද පරීක්ෂණයක් අවශ්‍යව ඇත්තේ පසුගියවර ශූරියන්වූ ශ්‍රී ලංකාව මෙවර සිවුවැනි ස්ථානය දක්වා පහළට වැටීම හේතුවෙනි.
එමෙන්ම තරග පරාජයට කැමැති ක්‍රීඩිකාවන් පිරිසක් කණ්ඩායම තුළ සිටි බවට කණ්ඩායම් නායිකාව සිදු කරන ප්‍රකාශයට හුදෙක් හිතලුවක් නොවන අතර, එය ක්‍රීඩා කරන අවස්ථාවේදීද දැකගත හැකි සුලබ සිදුවීමකි. කෙසේ හෝ මෙරට මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන මෙවැනි ක්‍රීඩා සංගම්වල ක්රියාකාරීත්වයද මෙහිදී දැඩිව ප්‍රශ්න කළ යුතු අතර ක්‍රීඩිකාවන්ගේ හා නිලධාරීන්ගේ හුදු පෞද්ගලික කාරණා හේතුවෙන් විදෙස් තරගාවලිහිදී රට අංක දෙකට දැමීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය යුතුය.
මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර විමසීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සම්බන්ධ කරගැනීමට කිහිපවරක්ම උත්සාහ කළද අත්‍යවශ්‍ය රැස්වීම්වලට අමාත්‍යවරයා සහභාගී වී සිටින හෙයින් සම්බන්ධ කරගැනීමට නොහැකිවිය. කෙසේ වෙතත් අමාත්‍යවරයා මෙම පරාජය පිළිබඳව කඩිනම් වාර්තාවක් ඉල්ලා තිබෙන බවද අනාවරණය වේ.
කණ්ඩායම තේරීමේ තිබූ අඩුපාඩුවලට කවුරුවත් ඇහුම්කන් දුන්නේ නැහැ
ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ පරාජය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණී තමාරා ලියනගේ මහත්මිය,
''කණ්ඩායමට පසුගියවර වගේ පුහුණුවට කාලසීමාවක් තිබුණේ නැහැ. කාලය කෙටි නිසා තරගාවලියට පුහුණු කිරීමේදී මූලික ගුණාංග හද හදා ඉන්න අපිට වෙලාවක් නැහැ. තේරීම්වල ඉඳලම ඒ අඩුපාඩුව මම දැක්කා සහ මම ඒ අඩුව කිව්වා. නමුත් අවසානයේ ඒකට ඇහුම්කම් දෙන්න කෙනෙක් හිටියේ නැහැ.
තෙවැනි ස්ථානය සඳහා හොංකොං සමග පැවැති තරගයේදී අපේ සමහර ක්‍රීඩිකාවන් නිසිපරිදි ක්‍රීඩා නොකළ ආකාරයක් දිස්වුණා. ඒ තුළ අපිට අතිරේක ක්‍රීඩිකාවන් ආදේශ කරන්න වුණා. නමුත් ඉතින් කෙටි කාලයකින් ඒ වගේ අඩුපාඩු සහිත ක්‍රීඩිකාවන් ස්ථාවර කරගන්න පුහුණුකරුවෙකුට අමාරුයි.
මට හිතෙනවා ක්‍රීඩිකාවන්ට ලොකු මානසික පීඩනයක් තිබුණා කියලා. ඒක නැති කරගන්න අපි ලොකු උත්සාහයක් දැරුවා. වෛද්‍ය දමින්දා අභිප්‍රේරණ (Motivation Session) වැඩසටහනකුත් කළා. නමුත් ඒක මුදාහැර ගන්න නොහැකිවුණා කියලයි මට හිතෙන්නේ'' යැයි පවසා සිටියාය.
තරගාවලිය පරාජය වෙනවාට කැමති අය අපේ කණ්ඩායමේ හිටියා
ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ පසුගියවර ශූරියන් වූ ශ්‍රී ලංකාවට මෙවර හිමිවූයේ සිවුවැනි ස්ථානයයි. අර්බුද රැසක් සමගින් ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ නායිකා නදී මධුෂිකා ප්‍රනාන්දු,
''ඇත්තටම පරාජයට පත්වීම කනගාටුවට කරුණක්. අපි බොහෝ බලාපොරොත්තු තබාගෙන හිටියා තුන්වැනි ස්ථානය හෝ ලබාගන්න. මට හිතෙන විදිහට අපේ ක්‍රීඩිකාවන් හරියට ක්‍රීඩා කළේ නැහැ. අපි මැච් එකේ පහරවල් (ෂොට්ස්) ඔක්කොම දැම්මට, ඇටෑක් කළේම නැහැ. නමුත් ඩිෆෙන්ස් සයිඩ් එක හොඳට සෙල්ලම් කළා. ඒ වගේම මානසික ඇද වැටීම් ගොඩාක් තිබුණා. මම මානසික ඇදවැටීම් හදනකොට, සමහර අය හිටියා ඒවා බිඳ දමන්න. ඉතින් මම හිතන්නෙ අපේ අය මැච් එක දුන්නා කියලයි.
ලංකාවේ ඉඳලා එනකොටත් නායකත්ව ප්රශ්නය තිබුණා. මම දැනුවත් කරන්න ඕන පුද්ගලයන්වත් දැනුවත් කළා. බොහෝ අය පරාජයට කැමතිවෙලා හිටියේ. මගේ නායකත්වය නිසයි ඔවුන් එහෙම කළේ. මගේ උපරිමය මම රට වෙනුවෙන් කළා. මට ඒ පිළිබඳ සතුටුයි. මට ආපු බලපෑම්, තර්ජන ඔක්කොම ඉවසගෙන මම ක්‍රීඩාකළේ. මට බොහෝ අය ටීම් එකෙන් එළියේ ඉඳන් උදව් කළා.
අපි ක්‍රීඩා කරද්දී නිදහස් වුණත් අපිට පන්දුව ලබාදුන්නේ නැහැ. කණ්ඩායමේ බෙදීමක් කියන්නේ, අපි මුලින්ම එකමුතුව හිටියා. එහෙත් එක එක බලපෑම් නිසා නායකත්වය වගේ ගැටලු නිසා ගැටුම් ඇතිවුණා. ඒවා මම ගොඩාක් ඉවසගෙන හිටියා. මම මගේ ක්‍රීඩිකාවන් හැමෝම එකතුකරගෙන ඉදිරියට යද්දී, සමහරු හිටියා අපිව වට්ටන්න. ඒත් අපිව වට්ටන්න බැරිවුණා.
කණ්ඩායම තුළ තරගාවලිය ජයගත යුතුයි කියන හැඟීම තිබ්බ පිරිසකුත් හිටියා, ඒ වගේම පරාජය විය යුතුයි කියන හැඟීම තිබුණු අයත් හිටියා. ඒක තරගය නරඹපු ඕනෑම කෙනෙකුට තේරෙනවා'' යැයි ප්‍රකාශ කළාය.