ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ තෙවැනි තරගයෙන් මාලදිවයින් කණ්ඩායම ලකුණු 86-14ක් ලෙස පරාජය කර විශිෂ්ට ජයක් ලැබීමට ඊයේ (09දා) සමත්විය. මෙම තරගය දකුණු කොරියාවේ ජොංජු නුවර හවසාන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පළමු කාර්තුව වේගවත්ව ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, එම කාර්තුව නිමාකළේ, ලකුණු 22-05ක් ලෙස පෙරමුණ ගනිමිනි. එහිදී සචිනි රොද්‍රිගෝ, නිලුම් හපුආරච්චි හා ශ්‍රී ලංකා ගෝල විදින්නිය වන කවීනා රාජපක්ෂගේ දක්ෂතා කැපී පෙනුණි.
දෙවැනි කාර්තුවේදීද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මාලදිවයිනට සිය ප්‍රහාරය ලිහිල් නොකළ අතර, එම කාර්තුව ලකුණු 21-03ක් ලෙස නිමාකිරීමට හැකිවිය. කෙසේ වෙතත් තෙවැනි හා සිවුවැනි කාර්තු වඩාත් සංයමයකින් ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම කාර්තුවලදී පිළිවෙළින් ලකුණු 23-04ක් හා 20-02ක් වශයෙන් ප්රබලව ක්‍රීඩා කරනු දැකගත හැකිවූහ. මෙහි සමස්ත කාර්තුවලදී ශ්‍රී ලංකා ලකුණු සටහන දැක්වූයේ 22-05ක්, 43-08ක්, 66-12ක් හා 86-14ක් වශයෙනි. මෙම තරගයේදී ශ්‍රී ලංකා නායිකා නදී මධුෂිකා ප්‍රනාන්දු තෙවැනි කාර්තුවේ සිට කැඳවීමට පුහුණුකාරිනිය කටයුතු කළාය.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තරග 03කට සහභාගිවී, ඉන් එක් තරගයක් පරාජයට පත්ව තරග 02ක් ජයගැනීමට සමත්ව සිටියි. එමෙන්ම සමස්ත තරගාවලියේ වැඩිම ගෝල රැස්කළ ක්‍රීඩිකාව වශයෙන් තවමත් පෙරමුණේ පසුවන්නේද ශ්‍රී ලංකා ක්‍රීඩිකා කවීනා රාජපක්ෂයි.
ශ්‍රී ලංකාව තරගවදින කාණ්ඩයේ මේ වනවිට හොංකොං රාජ්‍යය පෙරමුණේ පසුවන අතර, ඔවුන් මුහුණදුන් තරග තුනම ජයගෙන සිටියි. ශ්‍රී ලංකාව එහි දෙවැනි ස්ථානයේ පසුවෙයි.
මේ අතර ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගය අද (10දා) හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30 ට ආරම්භවීමට නියමිතය. වත්මන් ආසියානු යොවුන් ශූරියන් වන ශ්‍රී ලංකාවට එම අභිමානය රැකගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වන අතර, එයද වැඩි ලකුණු පරතරයකින් විය යුතුය.
මෙහි ඊයේ (09දා) දිනයේදී තරග තුනක් පැවැති අතර, එහිදී ඉන්දියාව විසින් සත්කාරක දකුණු කොරියාව ලකුණු 67-20ක් වශයෙන් පරාජය කළ අතර, හොංකොං රාජ්‍ය විසින් ලකුණු 51-35 ක් වශයෙන් තායිලන්තය පරාජය කළේය. මීට අමතරව චීන තායිපේට එරෙහි තරගයෙන් ලකුණු 71 -29ක ජයක් වත්මන් අනුශූරියන් වන මැලේසියාවට හිමිවිය.
අද (10දා) තරගාවලියේ 05 වැනි දිනය වන අතර, හෙට (11දා) විවේකී දිනයකි. ඉකුත් සෙනසුරාදා (06දා) ඇරඹුණු මෙම තරගාවලිය එළැඹෙන 13 වැනිදා දක්වා පැවැත්වේ.
මෙම තරගය නැරඹීම සඳහා දකුණු කොරියාවේ රැකියාව කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට කටයුතු කළේය.
අපේ ඉලක්කය හොංකොං පරාජය කිරීමයි
ශ්‍රී ලංකා නායිකා නදී මධුෂිකා ප්‍රනාන්දු
''තරගය ජයග්‍රහණය කිරීම පිළිබඳව අපි සතුටට පත්වෙනවා. හැමෝම හොඳින් ක්‍රීඩාකළා. විශේෂයෙන් අපි පළමු කාර්තු ද්විත්වය වේගවත්ව හා සැලසුමකට අනුව ලකුණු රැස්කළා. අපිට අවශ්‍යයි අපේ උපරිමය ලබාදෙන්න. අපිට මාලදිවයින සමග තරගයත් පුහුණු තරගයක් ලෙස ක්‍රීඩා කළේ.
අපේ ඉලක්කය හොංකොං කණ්ඩායම පරාජයට පත්කිරීමයි. අපි හොංකොං කණ්ඩායමට වඩා ලකුණු ලබාගැනීමේදී ඉදිරියෙන් සිටිනවා. අපේ හැම ක්‍රීඩිකාවක්ම මේ වනවිට සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩා කරන්නේ. හොංකොං කණ්ඩායමට හොඳ තරගයක් ලබාදීලා තරගය ජයග්‍රහණය කරන්න තමයි අපේ බලාපොරොත්තුව.''
අපි තරග සැලසුම්, තරගයෙන් තරගයට වෙනස් කරනවා
ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකරු තමාරා ලියනගේ
''මාලදිවයින සමග තරගයට අපි ආවේ හොංකොං තරගයට පෙර සූදානමක් වශයෙනුයි. අපේ ක්‍රීඩිකාවන් උපරිමයෙන් ක්‍රීඩාකළා. මාලදිවයින සමග තරගය බොහෝ දෙනෙක් නැරඹුවා, ඒ නිසා අපි ලොකු සැලසුම්වලට ගියේ නැහැ. හොංකොං තරගයේදී (අද පැවැත්වෙන) අපි වෙනස් සැලසුමකටයි ක්‍රීඩා කරන්නේ. ඒ නිසා මාලදිවයින හා පාකිස්තානු තරග අපි පුහුණු තරග විදිහටයි ක්‍රීඩා කළේ.
අපි තරගාවලියේ ඉදිරියට යන්න නම් හොංකොං තරගය ජයගත යුතුම වෙනවා. හොංකොං, මාලදිවයිනට ගැහුවෙත් ලකුණු 61-14යි. අපි මාලදිවයිනට 86-14ක් ගැහුවා. ඒ නිසා අපි ඉදිරියෙන් ඉන්නවා. අපි තරග සැලසුම්, තරගයෙන් තරගයට වෙනස් කරනවා. පෙර තරග පුහුණු තරග ලෙස ගන්න පුළුවන්. මං විශ්වාස කරනවා, හොංකොං සමග තරගයේදී අපේ ක්‍රීඩිකාවන් තවත් හොඳට ක්‍රීඩා කරාවි කියලා.
නමුත් හොංකොං පහසුවෙන් පරාජය කරන්න බැරිවේවි. ඔවුන් වේගවත්ව පසුගිය කාලේ ගොඩක් තරග ක්‍රීඩා කරලා ඉන්නේ. ඒ නිසා අපිට ඔවුන් අභියෝගයක් වේවි. අපි තායිලන්තය ගැන වැඩිය හිතුවේ නැහැ. අපි හිතුවේ හොංකොං තමයි අපේ අභියෝගය කියලා. අපේ ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා ශෛලිය මත හොංකොං තරගයේ විසඳුම තීරණය වේවි.''
(දකුණු කොරියාවේ ජොංජු නුවර සිට)