ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු නායක ෆාසිල් මරීජා අන්තර්ජාතික (පසලොස් සාමාජික) රග්බි පිටියට සමුදීමට තීරණය කර තිබේ. මෙවර ආසියානු ශූරතාවයෙන් අනතුරුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට හෙතෙම බලාපොරොත්තුව සිටියි.
සිය සමුගැන්ම ප්‍රකාශයට පත්කරමින් ෆාසිල් පවසන්නේ, තමන් අන්තර්ජාතික පිටියෙන් සමුගත්තද, තවදුරටත් තමන් වඩාත්ම ආශා කරන සත් සාමජික ඉසව්වලින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තු වන බවයි. කෙසේ නමුත් මරීජා මහනුවර කණ්ඩායම නියෝජනය කරමින් දේශීය තරග (පසලොස් සාමාජික) සඳහා සහභාගිවීමට බලාපොරොත්තුව සිටියි.
මහනුවර කිංග්ස්වුඩ් විදුහලෙන් ශ්‍රී ලංකා රග්බි පිටියට පිවිසි ෆාසිල්, ශ්‍රී ලංකා 15න් පහළ හා 19න් පහළ සංචිතයන් නියෝජනය කර තිබේ. එමෙන්ම 2004 වර්ෂයේ සිට මේ දක්වා ඔහු මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කිරීම විශේෂත්වයකි.
වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් වැඩිම ක්‍රීඩකයා මෙන්ම ශ්‍රී ලංකාවේ වේගවත්ම රග්බි ක්‍රීඩකයෙකු වන ෆාසිල්, 2003 වර්ෂයේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරයි. ඔහු මේ දක්වා අන්තර්ජාතික තරග 50කට අධික සංඛ්‍යාවක් නියෝජනය කර තිබේ.රග්බි පිටියේ ෆ්ලයි හාෆ් ස්ථානයේ ක්‍රීඩා කරන මරීජා, 2015 වර්ෂයේදී ශ්‍රී ලංකා ජාතික පසලොස් සාමාජික කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළේය.