සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට (01දා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු තරගය ලකුණු 90කින් ජය ගැනීමත්, දෙවැනි තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දමන්නට සිදුවීමත් නිසා බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි.
පළමු තරගය ජය ගැනීම නිසා තරගාවලිය පරාජයවීමේ අවධානමක් බංග්ලාදේශ කණ්ඩායමට නොමැති බැවින්, අවසන් තරගයට පෙරාතුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා මඳක් ඉදිරියෙන් පසුවේ. ඒ අනුව පීඩනය ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටය. මේ දක්වා ශ්‍රී ලංකාවට එරෙහිව තරගාවලි ජයක් නොලද බංග්ලාදේශ කණ්ඩායම, මෙවර තරගාවලියේදී ලද මෙම ස්වර්ණමය අවස්ථාවෙන් සිය බලාපොරොත්තුව යථාර්ථයක් බවට පරිවර්තනය කරගැනීමට සියලු උත්සාහයන් දරනු නොඅනුමානය. එහෙයින් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ මෙතෙක් රැකගත් අභිමානය තවදුරටත් රැකගන්නට තරුණ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගයේදී ප්‍රබල සටනක් ලබා දෙන්නට සිදුව තිබේ.
පළමු තරගයේදී අසාර්ථකවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ, දෙවැනි තරගයේදී සාර්ථකවිණි. එහෙත් එම තරගයේ සාර්ථක වූ මැදපෙළ දෙවැනි තරගයේදී ආසාර්ථක විය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවකි. විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට නම්, ඉදිරිපෙළ පිතිකරුවන්ගෙන් මෙන්ම මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගෙන්ද සැලකිය යුතු දායකත්වයක් අවශ්‍යය.
දෙවැනි තරගයේදී පසුපෙළ පිතිකරුවන් අනවශ්‍ය ලෙස කලබලවූවා යැයි අපගේ විශ්වාසයයි. අඩුම වශයෙන් එක් පිතිකරුවෙකු හෝ සිය අන්තය රැකගනිමින් පන්දුවට පහර දෙන්නට තිබුණි. අවසන් තරගයේදී මිලින්දට හෝ අසේලට පන්දුවට පහරදීමට අවස්ථාවක් හිමිවුවහොත්, ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් අවසන් පන්දුවාරය තෙක් කඩුල්ලේ රැඳිසිටීමට උත්සාහ කළ යුතුය.
එහෙත් තේරීම් කමිටුව නිරන්තරයෙන් ක්‍රීඩකයන් වෙනස් කරන බැවින් හෙට පැවැත්වෙන තරගයේදී මිලින්දගේ ස්ථානය ගැන විශ්වාසයක් තැබිය නොහැක. එය ක්‍රීඩකයන්ට පීඩනයකි. මේ හේතුව නිසාම ඔහුගේ විශ්වාසය ගිලිහී ගොස් ඇති අකාරයක් දැකගත හැකිය. මිලින්ද ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ කාලයේදී මීට වඩා විශ්වාසයකින් පන්දුවට පහර දුන්නේය. එහෙයින් සුපුරුදු මිලින්ද මතුකර ගැනීමට ඔහුට තවත් අවස්ථාවක් ලබාදිය යුතුය.
කුසල් ජනිත්ගේ අබාධයන් සුවවී ඇත්නම් හෙට තරගයේදී ධනුෂ්ක ගුණතිලකට කණ්ඩායමේ ස්ථානය අහිමිවීමට වැඩි අවස්ථාවක් පවතී. ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගත්තද, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේදී දක්ෂතා නොදැක්වීම ධනුෂ්කගේ ගැටලුවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් තරගකරමින් සිටින බැවින් ලද, අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ධනුෂ්ක උත්සාහ කළ යුතුය. එසේ නොවුනහොත් සිය ස්ථානය රැකගැනීම අසීරු කාර්යකි.
පළමු තරගයේ අවසන් පන්දුවාර කිහිපය යැවීම සඳහා නායක උපුල් තරංග, තිසර පෙරේරා කැඳවීම එතරම් නුවණට හුරු ක්‍රියාවක් නොවේ. පීඩනයක් යටතේ පන්දුයවන බොහෝ අවස්ථාවන්වලදී තිසර අසාර්ථකය. එහෙයින් තිසර ක්‍රීඩා කරන්නේනම් අවසන් පන්දුවාර කිහිපයට පෙර ඔහුගේ පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීම නුවණට හුරුය.
විකුම් සංජයට මේ තරගාවලිය පුරාවට අවස්ථාවක් හිමිනොවීම ඔහුට සිදුවූ අසාධාරණයකි. පසුගිය තරගාවලි කිහිපයකදීම විකුම් කණ්ඩායම වෙනුවෙන් උපරිමය ලබාදුන් පන්දුයවන්නාය. අවශ්‍ය අවස්ථාවේදී කණ්ඩායමට කඩුල්ලක් ලබාදුන්නේද ඔහුය. එබැවින් විකුම් ගැන මීට වඩා අවධානයක් යොමු කළ යුතුය.
කොළඹ එස්.එස්.සී පිටියේදී ජාත්‍යන්තර එක්දින තරගයක් පැවැත්වෙන්නේ වසර 06කට පසුවය. අවසන්වරට පැවැති තරගයෙන් බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 26ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 277ක් ලබාගත් අතර, පිළිතුරු ලෙස බ.ඉ. කොදෙව් පිතිකරුවන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 251ක් පමණි. කෙසේ වෙතත් වර්තමාන එක්දින තරගරටාව අනුව තරගයක් ලබා දෙන්නට නම්, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 සීමාවවත් පසුකර යා යුතුය.