බංග්ලාදේශ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ, සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 91ක පහසු ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඒ අනුව අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නට ඔවුන්ට හැකිවිය.
ලකුණු 217ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 36.3 දී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 125ක් පමණි. සිම්බාබ්වේ පිල වෙනුවෙන් සිකන්දර් රසා පන්දු 59 දී එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 39ක් රැස්කළ අතර, බග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සකීබ් අල් හසන් පන්දුවාර 9 දී ලකුණු 34ට කඩුලු 3ක් බිඳ හෙළීය. තරගයේ වීරයා සම්මානය තමින් ඉක්මාල් හිමිකර ගත්තේය.
කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ නායක මස්රෆි මොට්ටාසා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, බංග්ලාදේශය වෙනුවෙන් තමිම් ඉක්බාල් පන්දු 105දී හතරේ පහර 6ක් සමගින් ලකුණු 76ක් රැස් කළේය. ඔහුට අනගි සහායක් ලබාදුන් සකීබ් අල් හසන් පන්දු 80දී හතරේ පහර 6ක් සමගින් ලකුණු 51ක් රැස් කළේය.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් නායක ග්රැහැම් ක්‍රීමර් පන්දුවාර 10දී ලකුණු 32කට කඩුලු 4ක් බිඳ හෙළීය.