ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගයක් බංග්ලාදේශයට පරාජය වුවහොත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට කැළලක් බව ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පවසයි. පී. සරා පිටියේ ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
තරගයේ අවසන් දිනය වන අද දිනයේදී බංග්ලාදේශ දෙවැනි ඉනිමට වඩා තවත් කඩුලු දෙකක් අතැතිව ශ්‍රීලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටින්නේ ලකුණු 139ක් පමණකි. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකාවේ අවසන් කඩුලු දෙක ඉතා ඉක්මනින් බිඳ වැටුණහොත් තරගය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායමටවැඩිඅවස්ථාවක්තිබේ.
පී. සරා පිටියේදී ශ්‍රී ලංකාව මීට ඉහතදී ආරක්ෂා කරගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 244කි. ඒ 2015 වසරේදී කොදෙව් කණ්ඩායමට එරෙහිවය.
දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 05 ලකුණු 47කට දවාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්වීම ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි අවදානමකට පත්වීමට ප්‍රධාන කරුණ වෙයි.
“අපි කවදාවත් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයක් පරාජය වී නෑ. අපි තරගය පරාජය වුවහොත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කැළලක්”යනුවෙන් ඔහු කියා සිටියේය.