සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර, පැවැත්වෙන තරග දෙකකින් යුත් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (15දා) ඩකාහිදී ආරම්භ වේ. එක්දින තරගාවලිය මෙන්ම පසුගියදා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියද ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි20 තරගාවලියට අවතීර්ණ වන්නේ බංග්ලාදේශ කණ්ඩායමට වඩා ඉදිරියෙන් හිඳිමිනි.
දෙරට අතර මේ දක්වා පන්දුවාර විස්සයි20 තරග හතක් පවත්වා ඇති අතර ඉන් තරග 5කම ජය හිමි කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුවද පසුගිය කාලයේදී, විශේෂයෙන්ම විස්සයි20 තරග බිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කළ දක්ෂතා දෙස අවධානය යොමුකිරීමේදී පෙනී යන්නේ තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණ නොමැති බවයි. එහෙයින් අදින් ඇරඹෙන පන්දුවාර විස්සයි 20 තරගාවලියද ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක් අභියෝගාත්මක තරගාවලියකි. ඒ කෙසේ වෙතත් විස්සයි20 තරගාවලියේද ජය හිමි කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩාමට අවස්ථාවක් පවතී. එසේ වුවහොත් සාර්ථක තරගාවලියක් අවසන් කරමින් දිවයිනට පැමිණීමට යොවුන් ක්‍රීඩකයන්ට හැකිය.
විස්සයි20 තරගාවලියට නම්කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි කුසල් ජනිත් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස් ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පසුගියදා තීරණය කළේය. ඒ කුසල් ජනිත් පෙරේරාගේ ආබාධය තවමත් සුවවී නොමැති බැවිනි. කුසල් මෙන්ඩිස් එක්දින තරගාවලියේදී මෙන්ම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදීද ලකුණු අතරට පැමිණි නිසා ඔහුට අවස්ථාවක ලබාදීම ගැටලුවක් නොමැත. එහෙත් කුසල් පෙරේරා නොමැතිවීම ශ්‍රී ලංකා කණ්ඩායමට පාඩුවකි. කෙසේ වෙතත් උපුල් තරංග සහ තිසර පෙරේරා පන්දුවාර විස්සයි20 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ බැවින් එය ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකර තත්ත්වයකි. නමුත් සුරංග ලක්මාල් නොමැතිවීම පාඩුවකි.
ටෙස්ට් තරගාවලියේදී ක්‍රීඩා නොකළ උපුල් තරංග මෙන්ම ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක සහ ඉසුරු උදානට අද තරගයේදී අවස්ථාවක් හිමිවිය යුතු යැයි අපගේ විශ්වාසයි. විශේෂයෙන්ම අවසන් පන්දුවාර කිහිපයේදී හොඳින් පන්දු යවන, මේ අවස්ථාව වනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් සිටින අත්දැකීම් බහුල පන්දුවාර විස්සයි20 පන්දු යවන්නා වන ඉසුරු උදානගෙන් ප්‍රයෝජනයක් ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ කළ යුතුය.
එක්දින තරගාවලියේදී ආබාධයකට ලක්වීම නිසා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ බංග්ලාදේශ පන්දුවාර විස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායක ශකීබ් අල් හසන් නැවතත් බංග්ලාදේශ කණ්ඩායම සමගින් එක්ව සිටින බැවින් එය බංග්ලාදේශ කණ්ඩායමේ විශ්වාසය වැඩි කරවන්නට හේතුවකි. තරගාවලිය පුරාවට ඔහු ක්‍රියාත්මක වුවහොත් තරගාවලිය ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පරිශ්‍රමයක් දරන්නට සිදුවනු ඇත. එමෙන්ම තමීම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම්, සබීර් රෙහ්මාන් සහ මහමුදුල්ලා ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් එල්ලකල හැකි බංග්ලාදේශ පිතිකරුවන් වන අතර සහ මුස්ටෆිසුර් රෙහ්මාන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කරන පන්දු යවන්නා වේ.
ශ්‍රී ලංකා සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුශංක, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, අමිල අපොන්සෝ, ජීවන් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු
බංග්ලාදේශ සංචිතය – ශකීබ් අල් හසන් (නායක), තමීම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, මුෂ්ෆිකර් රහීම්, මහමුදුල්ලා, සබීර් රෙහ්මාන්, මුස්ටෆිසූර් රෙහ්මාන්, රුබෙල් හුසේන්, මොහොමඩ් සයිෆුද්දීන්, අබු ජායේඩ්, අරිෆුල් හක්, මහේදි හසන්, සකීර් හසන්, ඇෆීෆ් හුසේන්