ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම්වල නිරත අතර තුළදී සංගීතයට සවන්දීම තහනම් කිරීමට නව පුහුණුකරු චන්දික හතුරුසිංහ කටයුතු කර තිබේ.
එසේම මෙම තීරණයට එකඟ නොවන අයෙක් සිටින්නේ නම් ඔහුට කණ්ඩායමෙන් ඉවත්විය හැකි බවද ඔහු සඳහන් කරයි.
කණ්ඩායම නැවත සකස් කිරීමට තමන් කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා මුත්තයියා මුරලිදරන්ගේ සේවය ලබාගන්නා බවත් හතුරුසිංහ පවසයි.
“මම මුලින්ම හදන්නේ මූලික දේවල්. ඊට පසුව වර්ධනය වේවි. කණ්ඩායම තුළ හොඳ හා නරක දේවල් තිබෙනවා. මේ ඒ ගැන කතා කරන්න හොඳ අවස්ථාව නෙමෙයි. මම සෘණාත්මක දේ ගැන මාධ්‍ය සමග කතා කරන්නේ නෑ.
අනාගතයේදී ක්‍රීඩකයන්ගේ අවධානය යොමු නොවීමක් සිදු නොවේවි. යමෙකුට පුහුණුවීම් තුළදී සංගීතයට සවන්දෙන්න ඕන නම් ඔහුට සිය බෑගය ගෙන නැවත යන්න පුළුවන්. මට අතීතයේදී සිදුවූයේ කුමක්දැයි කියන්න බෑ. මම ඒ දේවල් නැවත වෙන්න දෙන්නේ නෑ. මම ඔවුන්ට කිව්වා සූදානම තමයි මූලික දේ කියලා. අපි හොඳින් සූදානම් නම් අපිට උපරිමය දෙන්න අවස්ථාවක් තිබෙනවා.
සමහර දේවල් සිදුවෙලා නෑ. ඒ නිසයි අපි මෙතන ඉන්නේ. නමුත් හැකියාවන් ගැන ගැටලුවක් නෑ. ලෝකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් පස් දෙනා අතර ඉන්න පුළුවන් ක්‍රීඩකයන් අපිට ඉන්නවා. ඔවුන් තමන්ගේ හැකියාවට සාධාරණය ඉටුකර නැතිනම් එයින් කියන්නේ ගොඩක් දේවල වැරදියට සිදුව ඇති බවයි.
දිගු ගමනක ආරම්භය බංග්ලාදේශ තරගාවලිය බව හතුරුසිංහ පවසයි. හතුරුසිංහ 2020 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැඳී සිටීමට ගිවිසුම් ගතව ඇත. “බංග්ලාදේශය ගැන පමණක් නෙමෙයි. අපිට විශාල පිංතූරයක් දිහා බලන්න වෙලා තිබෙනවා. මගේ අභියෝගය දක්ෂ ක්‍රීඩකයන් කණ්ඩායමට ගෙන ඒමයි. මගේ අරමුණ සුදු පන්දුවේ ලෝක කුසලාන තරගාවලියයි. රතු පන්දුවේ මගේ අභියෝගය ඊළඟ තරගාවලියයි. අපි ඒ අනුව කණ්ඩායම් තෝරා ගන්නවා. අපිට ලෝක කුසලානයට ක්‍රීඩකයන් හඳුනා ගන්න වෙනවා.”
හතුරුසිංහ සිය නව වගකීම වෙනුවෙන් හිටපු ක්‍රීඩකයන්ගේ අදහස් ලබාගැනීමටද උත්සාහ කරයි. මුලින්ම ඔහු සංගක්කාරගෙන් පටන් ගත්තේය.
“මම ඔහුට අවස්ථා කිහිපයක්ම කතා කළා.නමුත් ඔහු දුරකථනයට පැමිණියේ නෑ. ” හතුරුසිංහ සබඳතා පවත්වන ක්‍රීඩකයන් අතර සංගා ඉදිරියෙන්ම සිටියි. “ ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. මම ඔස්ට්‍රේලියාවට පුහුණුකරුවෙකු ලෙස යන විට ඔහුගේ වචන මට ගොඩක් උපකාර වුණා. මම ඔහුගේ අදහස් අඛණ්ඩව ලබාගන්නවා. මම ඔහුට අපිට උදවු කරන්න කියා ඉල්ලා සිටිනවා. මට ඔහුගේ සේවය ගන්න බැරිවුණොත් වැඩි නෑ. මම ඒ වගේම මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදන්නේ සේවයත් ලබාගන්නවා. අපි බලන්න ඕන ඔවුන්ට වෙලාවක් තිබෙනවද කියලා”