එක්දින තරග 05ක් හා එක් ටෙස්ට් තරගයක් සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන 26 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය. සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තරග 05කින් යුත් එක්දින තරගාවලියෙන් ආරම්භ වන අතර, පළමු එක්දින තරගය මෙම මස 30 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
වසර 17කට පසුව (2000 වසරෙන් පසුව) ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරග 02ක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති අතර, මීට පෙර ගාල්ලේදී එක්දින තරගයක් පැවැත්වී තිබුණේ 2000 වසරේ ජූලි මස 06 වැනිදා ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතරයි. එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක් හිමිව තිබුණි.
එක්දින තරගාවලියේ අනෙකුත් තරග හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජූලි මස 14 වැනිදා ආරම්භ වීමට නියමිතය.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග ශ්‍රේණිගත කිරීම්හි 08 වැනි ස්ථානයේ (ප්‍රසාද ලකුණු 93) පසුවන අතර, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි 07 වැනි ස්ථානයේ (පුසාද ලකුණු 91) පසු වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් හා එක්දින ශ්‍රේණිගත කිරීම් ඉතිහාසයේ ලැබූ දැවැන්තම පසුබෑම මෙය වන අතර, එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශය (ප්‍රසාද ලකුණු 94) පවා ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවීම සුවිශේෂීය.
මේ අතර සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට දින 10ක් තිබියදී පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් මහතා නිවාඩුවක් සඳහා සිය රට (දකුණු අප්‍රිකාව) බලා පිටත්ව ගොස් ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ටද සතියක නිවාඩු කාලයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇතැයි 'අදට' වාර්තා වේ.
එහෙත් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ පෞද්ගලික පුහුණුවීම් අඛණ්ඩව සිදුකරගෙන යන්නැයිද උපදෙස් ලැබී ඇතැයි අනාවරණය වේ. කෙසේ වෙතත් මෙවැනි සංචාරයක් තිබියදී පුහුණුකරුවාට හා ක්‍රීඩකයන්ට නිවාඩු ලබාදීම දැඩි පසුබෑමක පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගත සංචාර කෙරෙහි අයහපත්ව බලපානු ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මේ අතර සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම සඳහා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ඇතුළු තේරීම් කමිටුව ඊයේ (19දා) රැස්ව ඇති අතර, එළැඹෙන 30 වැනිදායින් ඔවුන්ගේ ධුර කාලයද අවසන් වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියෙක් පවසා සිටියේ, මීළඟ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස බොහෝවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු හා තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ මහතා පත්වනු ඇති බවයි.
එමෙන්ම යම් හෙයකින් තරගාවලිය ආරම්භයට පෙර පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් මහතා දිවයිනට නොපැමිණියහොත් පුහුණුකරු භූමිකාවද ගුරුසිංහ මහතාට පැවරෙනු ඇතැයි එම ඉහළ නිලධාරියා වැඩිදුටත් පවසා සිටියේය. සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය මෙම මස 30 වැනිදායින් ආරම්භ වී ජූලි මස 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.