ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ලබන මස (ජූලි) පළමු වැනිදා පැවැත්වීමට නියමිත අතර, මේ වනවිට නිලවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතී. මේ අතර වත්මන් පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතාට මෙරට හිටපු පාපන්දු බලවතුන් කිහිප දෙනෙකුගේම සහාය හිමිවීමත් සමග නිලවරණය මෙන්ම සභාපති සටනද වඩාත් තීව්ර වී තිබේ.
ප්‍රධාන සභාපති අපේක්ෂකයන් දෙදෙනාම ලීගවල සාමාජිකයන් කැඳවා සිය ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර ඇති පසුබිමක සභාපති අසුන දිනාගැනීම මේ වනවිට වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබේ.
වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා ලීගවල සාමාජිකයන් කැඳවමින් මාධ්‍ය හමුවක් කොළඹ රේණුකා හෝටලයේදී පෙරේදා (27දා) පැවැත්වූ අතර, එහිදී ඔහු පවසා සිටියේ, තම ජයග්‍රහණය ස්ථිර බවත්, ලීග 63න් 43ක්ම තමාව සභාපති කරවීම ස්ථිර කර ඇති අතර, දැනටමත් තමන් ජයග්‍රහණය කර අවසන්ව ඇති බවත්ය.
එමෙන්ම ප්‍රතිවාදී පාර්ශ්වය තමා ඇතුළු කණ්ඩායමට ඔප්පු කළ නොහැකි චෝදනා එල්ල කරන බවත්, මඩ ප්‍රහාර කොතරම් එල්ල කළද පිරිසුදු කණ්ඩායමක් තමන් සමග සිටින බවත් අනුර ද සිල්වා මහතා මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.
වත්මන් පාපන්දු සභාපතිවරයා තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ 'පාපන්දු සැමටම සැම තැනම' (Football Everyone – Every Where) යන ආදර්ශ පාඨය මූලික කරගනිමිනි.
''අපි පාපන්දුව දියුණු කරන්න ඉතා හොඳ සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා. පාපන්දුවේ තිබුණු ආඥාදායකත්වය අපි අවසන් කර තිබෙනවා. විශේෂයෙන් මම අවුරුදු 10ක් රට වෙනුවෙන් ක්‍රීඩා කළා. නායකත්වය දැරුවා. සභාපති අපේක්ෂක රංජිත් මහතා ජීවිත කාලෙටම ක්‍රීඩා කරනවා දැකලා නැහැ . හැබැයි අපි දැක්කා එතුමා අවුරුදු 52 දී නම් ක්‍රීඩා කරනවා.
පසුගිය කාලයේ මූල්‍ය කමිටුවේ හා මාධ්‍ය කමිටුවේ තනතුරු ලබාගනිමින් ඔහු පාපන්දුවේ බලය ආරෝපණය කරගන්න හැදුවා. ක්‍රීඩකයන් හා ක්‍රීඩාව දියුණු කරන්නේ නැතුව ඔහු කරපු දේවල් නිසා තමයි අද අපේ පාපන්දුව වැටිලා තිබෙන්නේ'' යැයි වත්මන් සභාපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හා පාපන්දු දියුණු කිරීමේ සැලසුම් ඉදිරිපත් කරමින් පවසා සිටියේය.
මේ අතර හිටපු පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගු මහතා සිය ප්‍රතිපත්ති හා සැලසුම් ලීගවලට ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ, පාපන්දුව දියුණු කිරීම සඳහා තමනට සහයෝගය ලබාදෙන ලෙසයි.
රංජිත් රුද්‍රිගු මහතා තමා ක්‍රීඩකයෙකු ලෙස කටයුතු නොකිරීමේ චෝදනාව අදාළ මාධ්‍ය හමුවේදී ප්‍රතික්ෂේප කළ අතර, ලීගවල බහුතරය තමාට ඇති බවත් අනිවාර්යයෙන් නිලවරණය ජයගෙන සභාපති වන බවත් පවසා සිටියේය.
රංජිත් රුද්‍රිගු මහතා අදාළ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ කොළඹ පිහිනුම් ක්‍රීඩා සමාජයේදීය (Colombo Swimming Club).
''මම ක්‍රීඩා කරලා නැහැ කියලා බොහෝ අය කියනවා. ඒත් මම මීගමුව යූත් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. ඒ වගේම මම පාපන්දු සංගමයේ ලක්ෂ 1200 ක ස්ථාවර තැන්පතුව නැති කළා කිව්වා. මම ඒ වියදම් සියල්ල විගණනය කරලා තිබෙනවා. මට අවශ්‍ය පාපන්දුව දියුණු කරන්නයි. සභාපති තනතුර සඳහා මගේ සුදුසුකම් සියල්ල මම නිලවරණ කමිටුවට පෙන්වලා තිබෙනවා.'' යැයි රුද්‍රිගු මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
මෙහිදී නිලවරණය සඳහා සුදුසුකම් ලැබූ සමස්ත ලීග 63 ක් පවතින අතර, එක් ලීගයකට ඡන්ද 03 ක්ද හිමිව තිබේ. ඒ අනුව සමස්ත ඡන්ද 189න් බහුතරය ලබාගන්නා අපේක්ෂකයා සභාපති තනතුරට පත්වීමට නියමිතය.
ඡායාරූප - ඉසුරු පෙරේරා, ඒශාන් ප්‍රනාන්දු