ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයේ නිලතල සඳහා සුදුසුකම් රහිත පුද්ගලයන් ඉදිරිපත්වන බවට පාපන්දු ක්ෂේත්රයේ ප්‍රවීණයෝ පිරිසක් චෝදනා කරති. කොළඹදී පෙරේදා (05දා) පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙවර නිලවරණයේ (ජූලි 01දා පැවැත්වෙන) සභාපති තනතුර වෙනුවෙන් ඉදිරිපත් වන රංජිත් රුද්‍රිගු මහතා පාපන්දු ක්‍රීඩාවේ නිරත වූවෙකු නොවන බවයි.
ක්‍රීඩා රෙගුලාසි අනුව සංගමයක තනතුරක් සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකු ජාතික හෝ සම්මේලනය මගින් අනුමත තරගාවලියක යම් මට්ටමකට හෝ ක්‍රීඩාවේ නියැලීසිටි අයෙකු වුවත්, රුද්‍රිගු මහතාට එම සුදුසුකම් නොමැති බව ඔවුහු චෝදනා කරති.
2013 වර්ෂයේ එවකට ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් සභාපති ධූරයට පත් වූ රොද්‍රිගු මහතා සම්මේලනයේ පරිපාලකයෙකු ලෙසින් සිටියදී පාපන්දු ක්‍රීඩා කළ බව ඔප්පු කිරීම උදෙසා මෑත කාලයේදී තරගවල අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පෙනී සිට ඡායාරූප ගෙන ඇති බවද ඔවුහු සඳහන් කරති.
මෙහිදී 2015 වර්ෂයේදී සිය සභාපති ධුරය අහිමිවීමෙන් පසුවත් රොද්‍රගු මහතා වත්මන් සභාපති අනුර ද සිල්වා ඇතුළු නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කරමින් නිල නොලත් සභාපතිවරයා ලෙස කටයුතු කළ බවද එම පිරිස චෝදනා කරති.
මේ අතර එම නිලධාරීන් විසින් රංජිත් රුද්‍රිගු මහතා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලසීමාවේදී ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්හි (173 සිට 193 දක්වා) පහතට වැටීම, හිටපු අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ (ෆිෆා) සභාපති ජෝශප් බ්ලැටර් හා විදේශ නියෝජිතයන් ශ්‍රී ලංකාවට ගෙන්වා මුදල් නාස්ති කිරීම, පාපන්දු සම්මේලනයේ ස්ථාවර තැන්පතුව අත්තනෝමතිකව වියදම් කිරීම යනාදී කරුණු මෙහිදී අනාවරණය කෙරිණි.
කෙසේ නමුත් එළඹෙන නිලවරණයේදී තමන් කුමන පාර්ශ්වයට සහයෝගය ලබාදෙන්නේ දැයි මෙහිදී මාධ්‍ය හමුවට සහභාගි වූ පිරිස සෘජුව ප්‍රකාශ නොකලේය.
මෙම මාධ්‍ය හමුව සඳහා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකු වූ සුනිල් සෙනවීර, ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු කළමනාකාරවරයෙකු වූ රමීස්, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ චතුර ගුණරත්න යන මහත්වරු සහභාගි වූහ.
කෙසේ නමුත් අප ප්‍රශ්නකර සිටින්නේ රංජිත් රුද්‍රිගු මහතා සභාපතිවරයා ලෙසින් සිටි අවධියේදී සිදුකළ අක්‍රමිකතා වෙනුවෙන් චෝදනා කිරීමට ඔහු එම ධුරයට පත්ව වසර දෙකකට අධික කාලයක් ගත කලේ කුමන හේතුවක් මතද යන්නය.
එමෙන්ම රුද්‍රිගු මහතාට චෝදනා එල්ල කිරීමට අදාළ නිළධාරීන් නිලවරණයක් අත ළඟට පැමිණෙන තෙක් ප්‍රමාද කර සිටියේ මන්දැයි ගැටලුවකි.
එවකට පාපන්දු ක්ෂේත්රයේ ගජ මිතුරන් වූ රංජිත් රුද්‍රිගු හා අනුර ද සිල්වා මහත්වරු එකට මාධ්‍ය හමුවල පෙනී සිටි අතර, බොහෝ විට එම මාධ්‍ය හමුවලදී රංජිත් රුද්‍රිගු මහතා සභාපතිවරයා අභිභවා නිල නොලත් සභාපතිවරයා ලෙසින් ක්‍රියා කළ බව පාපන්දු ක්ෂේත්රයේ රහසක් නොවීය. එමනිසා රුද්‍රිගු මහතාට චෝදනා කරන පාර්ශ්ව එකල මේ පිළිබඳ මුනිවත රැකගෙන සිටියේ ඇයිද කියා ගැටලුව තිබේ.
රුද්‍රිගු මහතා තනතුරින් ඉවත්ව වසර දෙකකට පසුවද ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව සිටින්නේ 197 වැනි ස්ථානයේය. ඒ අනුව වත්මන් පරිපාලනය ක්‍රියාකලාපය පිළිබඳව අපට පැහැදිය නොහැක.
ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගේ දීමනාව රුපියල් 25,000 සිට 50,000 දක්වා වැඩි කරන බවට 2013 වර්ෂයේදී පටන් පොරොන්දු වුවද, මේ දක්වා එය පොරොන්දුවක් පමණක් වී තිබීමද කනගාටුදායකය. ඉදිරි වසර කිහිපයක කාලය තුළදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව බවට පාපන්දු පත්කරන බවට වත්මන් සභාපතිවරයා ප්‍රකාශ නිකුත් කළද, මේ වනවිට ශ්‍රී ලංකාවේ පාපන්දුව පවතින තත්ත්වය දෙස බැලීමේදී එම ප්‍රකාශ හුදු 'සුරංගනා කතා' පමණක් වී ඇත.
එමනිසා අපට කිව හැක්කේ කවුරුන් සභාපති ධුරයට තරග වැදුණද, ඉදිරි වසර 04ක කාලය තුළදී මෙරට පාපන්දුව නංවාලීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුය යන්නය. නැතහොත් ශ්‍රේණිගත කිරීම්හි රටවල් 206ක් අතුරින් අවසන් ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන දිනය වැඩි ඈතක නොවනු ඇත.