රටවල් 10ක සහභාගිත්වයෙන් දකුණු කොරියාවේ ජොංජු නුවරදී පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකාව සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට ඊයේ (08දා) සමත්විය. ඒ පාකිස්තානය ලකුණු 06- 93ක් ලෙස පරාජයට පත්කරමිනි.
තරගාවලියේ තෙවැනි දිනය වූ ඊයේ (08දා) ශ්‍රී ලංකා - පාකිස්තානු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වූ අතර, පළමු තරගයේදී තායිලන්තය හමුවේ ලද අමිහිරි පරාජය අමතක කරමින්, කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කරනු දැකගත හැකිවිය.
ඒ අනුව ප්‍රථමයෙන් ලකුණු රැස්කිරීම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කාර්තුව නිමා කළේ ලකුණු 21-02ක් ලෙස පෙරමුණ ගනිමිනි. තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට අනපේක්ෂිත ගැටලුවකට මැදිවීමට සිදුවූ අතර, එහිදී හංසිමා කරුණාරත්න ආබාධයකට ලක්වී පිටියෙන් ඉවත්වූවාය.
හංසිමාගේ ආබාධ තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාව ලැබුණු පසු තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු ලයානි රේණුකා මහත්මිය පැවසීය. කෙසේ වෙතත් ඇයගේ පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඇයට සති 06ක් පිටියෙන් ඉවත්වීමට සිදුවේ යැයි නොනිල ආරංචි මාර්ග තහවුරු කළේය.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි තරග සඳහා ගෝල විදින්නියන් දෙදෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට සිදුව තිබේ. ඒ අතර හංසිමා වෙනුවට මල්ෂා රත්නායක තරගයට ආදේශ කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
තරගයේ දෙවැනි කාර්තුව වේගත්ව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පාකිස්තානු ක්‍රීඩිකාවන්ට එක් ලකුණක් පමණක් ලබාදෙමින් එම කාර්තුවේදී ලකුණු 22ක් වාර්තා කළේ සමස්ත ලකුණු තත්ත්වය ලකුණු 43- 03ක් වශයෙන් ලකුණු පරතරය වැඩි කරගනිමිනි.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ක්‍රීඩා රටාවක් එක්කිරීමට සචිනි රොඩ්රිගෝ හා නිලුමි හපුආරච්චි සමත්විය.
තරගාවලිය ප්‍රථම තරගයේදී බංකුවට සීමාවූ කණ්ඩායම් නායිකාව මෙම තරගයේදී තෙවැනි කාර්තුවේදී යළිත් පිටියට කැඳවීමට පුහුණුකාරිණිය කටයුතු කළ අතර නායිකා නදී මධුෂිකා ප්‍රනාන්දු ඉතා හොඳින් ක්‍රීඩා කරනු දැකගත හැකිවිය. තෙවැනි කාර්තුවේදී පාකිස්තානු ක්‍රීඩිකාවන් තවත් එක් ලකුණක් ලකුණු පුවරුවට එක්කරමින් සමස්ත ලකුණු සංඛ්‍යාව 04ක් දක්වා වැඩි කරගන්නා විට ශ්‍රී ලංකාව තවත් ලකුණු 22ක් ලබාගනිමින් සමස්ත ලකුණු සංඛ්‍යාව ලකුණු 65ක් දක්වා වැඩි කරගත්තේය.
පාකිස්තානු ක්‍රීඩිකාවන්ට එරෙහිව වේගවත් ක්‍රීඩා රටාවක් අනුගමනය කරමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සිව්වැනි කාර්තුවේදී තවත් ලකුණු 22ක් රැස් කරගත්තේ පාකිස්තානු ක්‍රීඩිකාවන්ට ලකුණු 02ක් පමණක් ලබාදෙමිනි. ඒ අනුව තරගය නිමාවනවිට අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ ලකුණු 93-06ක් වශයෙනි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා ගෝල විදින්නිය වූ කවීනා රාජපක්ෂ ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර, ඇයගේ ගෝල විඳීමේ හැකියාව 98%ක් ඉක්මවා තිබීම සුවිශේෂීය. මේ අතර, ඊයේ (08දා) පැවති අනෙක් තරගවලින් චීන තායිපේ කණ්ඩායම ලකුණු 55-32 ක් ලෙස පරාජයට පත් කිරීමට ඉන්දියාව සමත් වූ අතර, සිංගප්පූරුව ලකුණු 50-53ක් ලෙස පරදවමින් මැලේසියාව ජයග්‍රහණය කළේය.
එසේම ඊයේ පැවති (08දා) පැවති අවසන් තරගයේදී හොංකොං කණ්ඩායම 61-14ක් ලෙස මාලදිවයින් කණ්ඩායම පරාජයට පත් කළේය. මේ වනවිට 'ඒ' කාණ්ඩයේ පෙරමුණ හොංකොං කණ්ඩායම තහවුරු කරගෙන සිටින අතර, 'බී' කාණ්ඩයේ පෙරමුණ මැලේසියාවට හිමිව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය අද (09දා) මාලදිවයින් කණ්ඩායමට එරෙහිව ප.ව. 1.30ට ආරම්භ වීමට නියමිතය.
(දකුණු කොරියාවේ ජොංජු නුවර හවාසාන් ක්‍රීඩාගාරයේ සිට)