පාකිස්තාන ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනෙකුට ගෞරවාන්විත සමුගැන්මක් හිමි කර දෙමින් සත්කාරක බ.ඉ.කොදෙව්වන්ට එරෙහිව පැවැති තීරණාත්මක තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් ලකුණු 101 ක අගනා ජයක් හිමි කරගැනීමට පාකිස්තානය ඊයේ (14දා) සමත්විය.
මේ සමගින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙසින් ජයගැනීමටද පාකිස්තානය සමත්වූයේ කොදෙව් දේශයේදී කොදෙව්වන්ට එරෙහිව සනිටුහන් කළ පළමු ටෙස්ට් තරගාවලි ජය ලෙසිනි.
ලකුණු 303 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බ.ඉ. කොදෙව්වන්ට පන්දුවාර 96 ක් තුළදී සියල්ලන් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 202 ක් පමණි. නැවතත් කොදෙව් ඉනිමේ ගැලවුම්කරුගේ භූමිකාව නියෝජනය කරමින් රොස්ටන් චේස් ලකුණු 101ක් රැස් කළද එය කොදෙව් ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවූයේ අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 25 සීමාව ඉක්මවීමට නොහැකිවීම නිසාවෙනි.
පාකිස්තානය වෙනුවෙන් දඟ පන්දුවෙන් නැවතත් කොදෙව්වන් මෙල්ල කළ යසීර් ෂා කඩුලු 5 ක් දවාලීය. තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 376 ක් රැස් කළේ අසාර් අලිගේ ශතකයත්, නායක මිස්බා උල් හක් හා බාබර් අසාම්ගේ අර්ධ ශතකත් උපයෝගී කරගනිමිනි.
කෙසේ වෙතත් කොදෙව් පළමු ඉනිම ලකුණු 247 කට සීමාකිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූ අතර, එහිදී රාහුල් චේස් රැස්කළ ලකුණු 69 හැරෙන්නට කිසිදු පිතිකරුවෙකුට අර්ධ ශතක ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ඉඩක් නොවීය.
පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමෙන් මොහොමඩ් අබ්බාස් කඩුලු 5 ක් දවාළීය. කෙසේ වෙතත් පසුගිය තරගයේදී මෙන්ම පාකිස්තානු දෙවැනි ඉනිම අසාර්ථක කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.
සිය ක්‍රිකට් ජීවිතයේ අවසන් ඉනිම ක්‍රීඩා කළ යුනිස් ඛාන් මෙහිදී ලකුණු 35 කට දැවී යද්දී මිස්බා උල් හක්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 2 ක් පමණි. පන්දු යැවීමෙන් ඇලසාරි ජෝශප් කඩුලු 3 ක් බිඳහෙළීය.
කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය කොදෙව් පිතිකරු රොස්ටන් චේස් විසින් හිමි කර ගත් අතර තරගාවලියේ වීරයා සම්මානය හිමි කර ගත්තේ පාකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක යසීර් ෂා ය.