'නිදහස් කුසලාන' පන්දුවාර විස්සයි20 එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව තමන් මුහුණදුන් පළමු තරගයෙන්ම ජය හිමි කරගන්නට හැකිවීම කණ්ඩායමේ සියලු දෙනාගේම විශ්වාසය ඉහළ නංවන්නට හේතුවක් වූ බව, පළමු තරගයේදී වේගවත් ඉනිමක් දියත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය මාවත විවර කරදුන් කුසල් ජනිත් පෙරේරා තරගයෙන් අනතුරුව පෙරේදා (06දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.
“තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කරන්න ලැබීම ඉතාම වැදගත්. මේ ජයග්‍රහණය අපිට අපි ගැන තියෙන විශ්වාසය තව තවත් වැඩි කරන්න හේතුවක්. තව තවත් දියුණු වෙන්න උත්සාහ කරමින් ඉරියට යන්න තමයි අපේ බලාපොරොත්තුව.” යැයි කුසල් මෙහිදී සඳහන් කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කුසල්, “අපි හොඳ ආරම්භයක් ලබාගත්තා. නමුත් මැද පන්දුවාර කිහිපයේදී අපේ කඩුලු කිහිපයක් බිඳ වැටුණා. අපි මැද පන්දුවාරවලදී හොඳින් පන්දුවට පහර දුන්නේ නැහැ. නමුත් සමස්තයක් ලෙස ගත්තාම අපි අංශ තුනෙන්ම ඉදිරියෙන් හිටියා. ඒ නිසා අපි අපේ ජයග්‍රහණය ගැන සතුටු වෙනවා.
කෙසේ වෙතත් පන්දුවාර විස්සකදී ලකුණු 175ක් වාර්තා කරනවා කියන්නේ පහසු දෙයක් නෙමේ. ඒ නිසා අනිවාර්යයෙන් පන්දුවාර 6දී උපරිම ලකුණු ප්‍රමාණයක් රැස්කරගත යුතුව තිබුණා. එක් පන්දු යවන්නෙකුට එරෙහිව ආක්‍රමණයක් දියත් කරන්න කලින් සැලසුම් කරලා තිබුණේ නැහැ. නමුත් තෙවැනි පන්දුවාරයේදී ඔහු හොඳින් පන්දු යැව්වේ නැහැ. ඒ නිසා මට ඔහුට එරෙහිව හොඳින් ලකුණු රැස්කර ගන්නට හැකිවුණා. පන්දුවාර විස්සයි20 තරග රටාව එහෙම තමයි. ඔබට සිදුවෙනවා ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කරන්න.” යැයි පවසා සිටියේය.