මෙරට පළාත් ක්‍රිකට් දියුණු කිරීමේ අභිප්‍රායෙන් පළාත් ක්‍රිකට් පරිපාලනය සඳහා ප්‍රධාන විධායක නිලධාරීන් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි 'අද'ට අනාවරණය වේ.විශේෂයෙන් මේ වන විට වත්මන් ක්‍රිකට් පරිපාලනය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තිබූ පරිපාලන බලය පළාත්වලට විමධ්‍යගත කිරීමේ මෙහෙයුමක් දියත් කර ඇති අතර, පිරිසක් චෝදනා කරනුයේ එමගින් පළාත් ක්‍රිකට්වලට වන කිසිදු සුගතියක් නොමැති බවයි.
මේ වන විටත් පළාත් ක්‍රිකට් සංගම් සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් නිසියාකාරව ක්‍රියාත්මක වන බවත්, පළාත් ක්‍රිකට් පරිපාලනය සඳහා ප්‍රධාන විධායක නිලධාරීන් යෙදවීම නිරපරාදේ මුදල් නාස්තියක් බවත් ඔවුහු චෝදනා කරති.කොළඹ, ගාල්ල, දඹුල්ල සහ මහනුවර යන පළාත් 04කට බෙදා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රිකට් සංවර්ධනය, පරිපාලනය සඳහා මෙම ප්‍රධාන විධායක නිලධාරීන් පත්කිරීමට නියමිත අතර, ඔවුනට ඉහළ වැටුපක්ද හිමිව ඇතැයි වාර්තා වේ.
එමෙන්ම මෙම ප්‍රධාන විධායක නිලධාරීන් පත්කිරීමේදී එම පත්වීම් තාවකාලික පත්වීම් ලෙස ලබා නොදී ස්ථිර පත්වීම් ලෙස ලබාදීමට තීරණය කළ බවත්, එම බඳවාගන්නා පුද්ගලයන් වෘත්තීය නිපුණතාවකින් මෙන්ම ඉහළ කාර්යක්ෂමතාවකින් හෙබි පුද්ගලයන් වන බවත් දේශීය ක්‍රිකට් ප්‍රධානී, ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති මොහාන් ද සිල්වා මහතා අප මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පවසා සිටියේය.
"අපි බලාපොරොත්තු වෙනවා පළාත් ක්‍රිකට් අධ්යක්ෂවරු ලෙස නව තනතුරු කිහිපයක් ඇති කරලා පළාත් ක්‍රිකට් සංවර්ධනය කරන්න. මේවා තාවකාලික පත්වීම් නොවෙයි. අපේ අදහස පළාත් ක්‍රිකට් ශක්තිමත් කරලා බලය විමධ්‍යගත කරන්නයි. පළාත් ක්‍රිකට්වලට හරි පරිපාලනයක් තියෙන්නත් ඕන. මේ වන විට සමහරුන්ගෙන් පළාත් ක්‍රිකට් සම්බන්ධයෙන් දෝෂාරෝපණත් තියෙනවා. ඉතින් ඒවා නැති කරන්න, ශක්තිමත් පරිපාලනයක් ඇති කරන්න සහ විශේෂයෙන්ම ක්‍රිකට් දියුණු කරන්න තමයි මෙවැනි තීන්දුවක් අරගෙන තිබෙන්නේ.
අපි දැනට මෙම කර්තව්‍යය කරන්න 04 දෙනෙක් ගන්නවා.
අපේ ඉන්නේ හැමෝම ස්වේච්ඡාවෙන් වැඩ කරන අය. ඔවුන් වැඩ බැලුවත් ඔවුනට සියයට සියයක් කාලය වැය කරන්න බැහැ ක්‍රිකට් දියුණුවට. එනිසා වෘත්තීය මට්ටමෙන් අපි මේ බඳවාගැනීම් කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රිකට් දැනුම තිබෙන සියලු සුදුසුකම් සපුරාපු අය තමයි අපි බඳවා ගන්නේ" යැයි මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් ඒ පිළිබඳව පවසා සිටියේය.
පළාත් ක්‍රිකට් දියුණුවට මෙවැනි වෘත්තීය මට්ටමේ පරිපාලනයක් අවශ්‍ය බව සැබෑය. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමාද වී හෝ ඒ පිළිබඳව හරි මාර්ගයට පැමිණීම පැසසිය යුතුය. එහෙත් මෙම නව තනතුරු පත්කිරීම තුළින් වසර ගණනාවක් සිය සේවය නොමසුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදුන් දිස්ත්‍රික් සහ පළාත් ක්‍රිකට් නිලධාරීන්ගේ රැකියාවලට කණකොකා හඬලයි නම් මෙවැනි තීන්දු පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් නැවතත් සිතා බැලිය යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව මෙම තනතුරු හිතවතුන් අතරේ බෙදා ගන්නා බවට ක්‍රිකට් ආයතනය තුළින්ම කසුකුසු නිර්මාණයව ඇති හෙයිනි.