UPDATE සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරදා දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුුලු තුනක ජයක් ලැබීමට සංචාරක ඉන්දිය කණ්ඩායම සමත්විය. පල්ලේකැලේ පිටියේ පැවැති තරගයේ ලකුණු 231 ජයග්‍රාහී ඉලක්කයක් (ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව) හඹාගිය ඉන්දීය කණ්ඩායම කඩුලු හතක් පමණක් වැය කරන එම ඉලක්කය පසුකර ගියේය.
ඉන්දීය කණ්ඩායම සිය පළමු කඩුල්ල සඳහා ලකුණු 109ක සබඳතාවක් පැවැත්වීය. කෙසේ වෙතත් එතැන් පටන් ඉන්දීය කණ්ඩායමේ කඩුලු 7ක් ලකුණු 22ක් තුළ බිඳ දැමීමට අකිල ධනංජය හා මිලින්ද සිරිවර්ධන සමත්විය. එම කඩුලු හතෙන් හයකම හිමිකරුවා වූයේ අකිල ධනංජයයි. කෙසේ වෙතත් අටවැනි කඩුල්ල සඳහා දෝනි හා භුවනේෂ්වර් කුමාර් නොබිඳුණු ලකුණු 100ක සබඳතාවක් පවත්මින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
මෙහිදි භුවනේෂ්වර් සිය මංගල අර්ධ ශතකයද වාර්තා කිරීමට සමත්වීම කැපීපෙනෙන සිදුවීමක් විය. අකිල ධනංජය සිය පන්දුවාර 10 තුළදී ලකුණු 54ට කඩුලු 6ක් දවා ගැනීමට සමත්විය.
ධනංජය හයවැනි කඩුල්ලත් ගනියි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සිය හයවැනි කඩුල්ලත් වාර්තා කිරීමට සමත් විය. ඒ ආක්ෂාර් පටෙල් ලකුණු 6 කට දවා ගනිමිනි. ධනංජය ඔහු දවා ගත්තේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කිරීමෙනි. ඉන්දියාව මේ වන විට කඩුළු 7 ක් දැවී ලකුනු 140 ක් ලබා සිටියි. මෙය ශ්‍රි ලංකා පන්දු යවන්නෙකු වසර 8 කට පසු ඉන්දියාවට එරෙහිය එක්දින තරගයකදී කඩුළු 6 ක් දවා ගත් පළමු අවස්තාව විය.
අකිල ධනංජයට කඩුළු 5 යි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදි අකිල ධනංජය කඩුළු 5 ක් වාර්තා කිරීමට සමත් විය. රෝහිත් ෂර්මා, කේදාර් ජදාව්, විරාත් කෝලි, ලෝකේෂ් රාහුල් හා හර්දික් පාණ්ඩයා දවා ගනිමින් ඔහු මෙම දස්කම දැක්වීය. මෙය ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීම මෙන්ම කඩුළු 5 ක් දවා ගත් පළමු අවස්ථාවද වේ. මේ වන විට ඉන්දියාව කඩුළු 6 ක් දැවී ලකුණු 126 ක් ලබා අසීරු තත්වයේ සිටියි.
සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ ඇරයුමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් බිඳවැටී ලකුණු 235ක් ලබාගත්තේය.
රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුවට පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35කදී කඩලුලු 5ක් දැවී ලකුණු 154ක් රැස්කරගෙන සිටියි.
මිලින්ද සිරිවර්ධන 27* චාමර කපුගෙදර 14* පන්දුවට පහරදෙමින් පිටියේ රැඳී සිටිති.
දැවී ගිය ක්‍රීඩකයෝ
දික්වැල්ල 31
ගුණතිලක 19
කුසල් 19
තරංග 9
මැතිව්ස් 20
ආරම්භක පිතිකරුවෝ හා නායකයා දැවී යති
මුලින්ම පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේදී කඩුලු තුනට ලකුණු 83ක් රැස්කරගෙන සිටියි. දික්වැල්ලට හා ගුණතිලකට ආරම්භක කඩුල්ල වෙනුවෙන් පැවැත්විය හැකිවූයේ ලකුණු 41ක සබඳතාවක් පමණි.
දැවී ගිය ක්‍රීඩකයන්
නිරෝෂන් දික්වැල්ල 31
ධනුෂ්ක ගුණතිලක 19
උපුල් තරංග 9
පස්වැනි වතාවටත් කාසියේ වාසිය ඉන්දියාවට
සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාත් කෝලි මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. ටෙස්ට් තරග තුනේදීත්, එක්දින තරග දෙකේදීත් කාසියේ වාසිය දිනාගත්තේ ඉන්දීය නායකයාය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් කම් තුනක් සමගින් මෙම තරගයට පැමිණ තිබේ. ඒ තිසර පෙර්රා, වනිඳු හසරංග හා ලක්ෂාන් සඳකැන් වෙනුවට අකිල ධනංජය, දුෂ්මන්ත චමීර හා මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට ගෙනෙමිනි.