ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (06දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පෙරේදා (04දා) පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 06ක ජයක් හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි.
ටෙස්ට් සහ එක්දින තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් වුවද, විස්සයි20 තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් විය නොහැක. විශේෂයෙන් ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව, බංග්ලාදේශයට වඩා ඉදිරියෙන් සිටියි.
එමෙන්ම පසුගිය තරගාවලි කිහිපය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම, බංග්ලාදේශයට සාපේක්ෂව වැඩි දක්ෂතා ඉදිරිපත් කරමින් සිටියි. එමනිසා මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත යුතුම තරගාවලියකි. එමනිසාම පළමු තරගයද ජයගෙන සිටින නිසා වැඩි පීඩනය ඇත්තේ ශ්‍රී ලංකාවටය.
එක්දින තරගාවලියට සාපේක්ෂව පළමු විස්සයි20 තරගයට ක්‍රීඩාකළ කණ්ඩායම බැලූ බැල්මට සමබර කණ්ඩායමකි. අපි දිගින් දිගටම සඳහන් කර සිටියේ විකුම් සංජයට කණ්ඩායමේ ස්ථානයක් හිමිවිය යුතු බවය. එක්දින තරගාවලියේදී එය සිදුනොවුනද, විස්සයි20 පළමු තරගයේදී ඔහුට අවස්ථාවක් ලබාදීම අගය කළ යුතුය. එපමණක් නොව අද පැවැත්වෙන තරගය සඳහාද ඔහුට අවස්ථාවක් හිමිවිය යුතුය.
ලසිත් මාලිංගගේ පැමිණීම කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය තව තවත් ශක්තිමත් කරන්නකි. එය බංග්ලාදේශ කණ්ඩායමට අමතර පීඩනයක්ද ඇති කරවන්නකි. පළමු තරගයේදීද එය දැකගත හැකිවිණි. එහෙත් ගැටලුවකට ඇත්තේ පළමු පන්දුවාර කිහිපයේදී ලසිත්ට සෙසු පන්දු යවන්නන්ගෙන් හොඳ සහායක් නොලැබීමයි. අද තරගයේදී එය නිවැරදි කරගත යුතුව ඇත. එසේ නොවන්නට, ලසිත් පළමු පන්දුවාර කිහිපයේදී කඩුල්ලක් හෝ දෙකක් දවාගත්තද ඉන් ප්‍රයෝජනයක් නොවන්නේය.
අබාධයෙන් පසුව කණ්ඩායමට ඇතුළත් වූ කුසල් ජනිත්, කෙමෙන් කෙමෙන් සිය සුපුරුදු රිද්මටය ළඟාවන බවට පළමු තරගයේදීම ඉඟි පළ කළේය. එය ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකර තත්වයකි. එහෙත් එම තරගයේ අවසන් පන්දුවාර කිහිපයේ කුසල් ජනිත් අනවශ්‍ය ලෙස කලබල වූවා යැයි අපගේ විශ්වාසයයි.
ඔහුට තරගය අවසන් වනතුරු කඩුල්ලේ රැඳී සිටීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණි. කෙසේ නමුත් කුසල්ගේ කලබලය හේතුවෙන් තරගය ජයග්‍රහණය තෙක් නොසිට පිටියෙන් ඉවත් වන්නට ඔහුට සිදුවිණි. එම වරද නැවත නැවතත් කුසල් අතින් සිදු නොවිය යුතුය.
තවද සීක්කුගේ ප්රසන්නද සෑම පන්දුවකටම වේගවත් පහරකට යෑමට උත්සාහ කිරීම අණුවන ක්‍රියාවකි. විශේෂයෙන්ම ලකුණු අතර සිටින පිතිකරුවෙකු අනිත් අන්තයේ සිටියදී සෑම පන්දුවකටම වේගවත් පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීම අනවශ්‍ය පීඩනයක් ඇති කරගැනීමකි. අප කවුරුත් දන්නා පරිදි ජාත්‍යන්තර තරග බිමේදී පහසුවෙන් වේගවත් පහරවල්වලට යෑමට නොහැක.
එක් පන්දුවකට හෝ දෙකකට අවධානමක් රැගෙන වේගවත් පහරක් එල්ල කිරීමට උත්සාහ කළ යුතු අතරම, එය සාර්ථක නොවන්නේනම් පන්දු අපතේ නොයවා සිය අන්තය මාරු කරගැනීම නුවණට හුරුය. එසේ නොවන්නට පීඩනය වැඩිවීම වැළැක්විය නොහැක.
බංග්ලාදේශය වෙනුවෙන්, විශේෂයෙන්ම පන්දුවාර විස්සයි20 තරග බිමේදී මෂ්රෆි මොර්ටාසා හොඳින් පන්දු යවමින් සිටියි. පළමු තරගයේදී අසාර්ථක වුවද, ඔහු ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙනවිට ආක්‍රමණය කළ යුතු බංග්ලාදේශ පන්දු යවන්නන් කවුරුන්ද යන්න කල්වේලා ඇතිව සැලසුම් සකස් කරගන්නේ නම් වඩා වැදගත්ය.
තවද පළමු තරගයේදී අසාර්ථක වුවද, තමීම් ඉක්බාල් ගැන අවධානයෙන් සිටිය යුතුය. එමෙන්ම සබීර් රහ්මාන්ද ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මෑත කාලයේ වැඩි විශ්වාසයකින් යුතුව පිතිරණයේ යෙදුන පිතිකරුවෙකු බැවින් ඔහුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි පීඩනයක් එල්ල විය හැක.
අද (06දා) තරඟය ප.ව. 07.00ට ආරම්භ වේ.
ශ්‍රී ලංකා සංචිතය
උපුල් තරංග (නායක), ඩිල්ශාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, සඳුන් වීරක්කොඩි, ලසිත් මාලිංග, ඉසුරු උදාන, නුවන් කුලසේකර, දසුන් ශානක, විකුම් සංජය, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න, චාමර කපුගෙදර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ශෙහාන් ජයසූරිය.
බංග්ලාදේශ සංචිතය
මෂ්රාෆි මොර්ටාසා, තමීන් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, ඉම්රුල් කයිස්, මුෂ්ෆිකර් රහීම්, ශකීබ් අල් හසන්, සබීර් රෙහ්මාන්, මහ්හුදුල්ලාහ්, මොසඩික් හුසේන්, මුස්ටාෆිසූර් රහ්මාන්, මෙහෙදී හසන්, ටස්කින් අහමඩ්, සුබාෂිශ් රෝයි, සුන්සාමුල් ඉස්ලාම්, නුරුල් හසන්, මොහොමඩ් සයිෆුදීන්