වර්තමානයේ ලොව ශීඝ්‍රයෙන් ජනප්‍රිය වන ක්‍රීඩාවක් ලෙස අපට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වාදිය හැකිය. මෙහිදී පාපන්දු, රග්බි වැනි ක්‍රීඩා තරමටම ජනප්රසාදය හිමි කර ගැනීමට ක්‍රිකට් සමත්ව ඇත්තේ ඊට එක්ව ඇති නව ප්රවණතා හේතුවෙනි. විශේෂයෙන් කාර්යබහුල ජීවිතයක් ගෙවන වත්මන් ජනයාට ඒ හා සමානව විනෝදාස්වාදය සැපයිය හැකි පරිදි ක්‍රිකට් නීතිරීති මෙන්ම ක්රමවේදද වෙනස්වීම මෙහිදී සුවිශේෂ ලෙස දැක්විය හැකිය.
අතීතයේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩාව තුළ ටෙස්ට් ක්‍රිකට්වලට ඉහළ පිළිගැනීමක් හිමිව තිබුණද අද වනවිට එක්දින, විස්සයි 20 සහ සයසාමාජික ක්‍රිකට් බෙහෙවින්ම ජනප්‍රසාදයක් හිමිව තිබීමෙන් ක්‍රිකට් ලොව පුරා ජනප්‍රිය ක්‍රීඩා අතරට එක්වීම නිතැතින්ම සිදුව තිබේ. මෙය තව තවත් තීව්ර කරමින් පන්දුවාර 10 ක්‍රිකට් හඳුන්වා දීමත් සමග ඉදිරියේදී මීටත් වඩා ජනාකර්ෂණයක් ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඒ එංගලන්ත එක්දින සහ විස්සයි20 ක්‍රිකට් නායක ඔයින් මෝගන් පන්දුවාර දහය ක්‍රිකට් ඔලිම්පික්වලට සුදුසුයි යැයි පැවසීමත් සමගිනි.
ටෙස්ට් තරගවලින් එක්දින තරගවලටත් අනතුරුව විස්සයි 20 තරගවලටත් ව්‍යාප්ත වූ ක්‍රිකට්, මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු වරට පැවැත්වෙන පන්දුවාර 10 ක්‍රිකට් (TEN10 LEAGUE) හේතුවෙන් වඩාත් කතාබහට ලක්ව තිබේ. විශේෂයෙන් ඔලිම්පික් ක්‍රීඩාවට විස්සයි 20 ක්‍රිකට් ඇතුළත් කිරීමේ සාකච්ඡා මේ වනවිටත් ආරම්භව ඇති මොහොතක පන්දුවාර 10 ක්‍රිකට් ඊට සුදුසු යැයි මෝගන්ට අමතරව ක්‍රිකට් විචාරකයෝ පවා මත පළ කරති.
එංගලන්ත එක්දින සහ විස්සයි20 ක්‍රිකට් නායක ඔයින් මෝගන් පවසන්නේ ඔලිම්පික් ක්‍රීඩාව සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරන්නේ නම් ඊට හොඳම ආදේශකය පන්දුවාර 10 ක්‍රිකට් බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු වරට පැවැත්වෙන පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියටද ක්‍රීඩා කරන මෝගන්ගේ මෙම ප්‍රකාශය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් බලධාරීන්ගේ ද අවධානය යොමුව තිබේ.
නව ප්‍රේක්ෂක වෙළඳපොළක් සොයන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ද මෙය මගඟු අවස්ථාවක් බව විචාරකයෝ පවසති. කෙසේ වෙතත් මෙහි පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව වැඩි වශයෙන් ඔවුනට සාකච්ඡා කිරීමට සිදුව ඇත්තේ මේ වනවිට රටවල් බොහොමයක් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර ඇති හෙයිනි. මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ද සාමාජික සංගම් සමග මෙය දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර, එලෙස ඔලිම්පික් ක්‍රීඩාවට මෙය ඇතුළත් කරන්නේ නම් මීට පෙර සාකච්ඡා කළ විස්සයි 20 ආකෘතියෙන් සහ ක්‍රමවේදවලින් බැහැරව යළිත් නව ආකෘතියක් සහ ක්‍රමවේදයක් සැකසිය යුතු යැයිද විවිධ මත පලවෙමින් තිබේ. එසේ වුවහොත් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම තව තවත් පමාවනු ඇත.
කෙසේ වෙතත් ඔයින් මෝගන් පවසන්නේ කාලය සමග සංසන්දනය කර බලද්දී විස්සයි එක්දින හෝ පන්දුවාර 20 ක්‍රිකට් වෙනුවට ඔලිම්පික් ක්‍රීඩාවට වඩාත් සුදුසු වන්නේ පන්දුවාර 10 ක්‍රිකට් බවයි.
‘විස්සයි 20 තරගයක් සඳහා ටිකක් වැඩි කාලවේලාවක් වැය වෙනවා. ඔබ හිතනවා නම් ඔලිම්පික් වැනි තරගාවලියකට ක්‍රිකට් ඇතුළත් කිරීමට ඊට ක්‍රීඩා කරන්න පුළුවන් කණ්ඩායම් 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්.ඒ සඳහා සති පහක හයක කාලයක්වත් වැය වේවි. නමුත් පන්දුවාර 10 තරගාවලියක් අපිට දවස් 08කින් පමණ නිමා කරගන්න පුළුවන්. ඒවගේමයි පන්දුවාර 10 ක්‍රිකට් තරගයකට වැයවන්නේ මිනිත්තු 90ක් පමණයි. මෙමගින් ක්‍රිකට්වලට වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් මෙන්ම වැඩි විනොදාස්වාදයක්ද ලබා ගන්න පුළුවන්’ යැයි මෝගන් වැඩිදුරටත් පවසා තිබිණ.