මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 05ක් සමගින් පදක්කම් 06ක් දිනාගනිමින් සමස්ත තරගාවලියේ 31 වැනි ස්ථානය දිනාගැනීමට සමත්විය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනූ තරගාවලිය ලෙසද මෙය ඉතිහාසයට එක්විය. ශ්‍රී ලංකාවේ පදක්කම් ගොන්නට බර ඉසිලීමෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02ක් (ඉන්දික දිසානායක-රිදී, චතුරංග ලක්මාල්-ලෝකඩ, දිනුෂා හංසනී ගෝමස්-ලෝකඩ) මෙන්ම බොක්සිං තරගවලින් ලෝකඩ පදක්කම් 03ක් (අනූෂා කොඩිතුවක්කු-ලෝකඩ, ඉශාන් බණ්ඩාර-ලෝකඩ, තිවංක රණසිංහ-ලෝකඩ) එකතු විය.
කෙසේ වෙතත් මෙම වසර ආරම්භයේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් වී පදක්කම් ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ශක්ති අරමුදලෙන් ගෙවනු ලබන මුදල් ත්‍යාග මෙම වසරේ සිට වැඩි කර ඇති බවයි. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් ජයගතහොත් රු. ලක්ෂ 50ක මුදලක්ද, රිදී පදක්කමක් ජයගතහොත් රු. ලක්ෂ 40ක මුදලක්ද, ලෝකඩ පදක්කමක් ජයගතහොත් රු. ලක්ෂ 30ක මුදලක්ද ගෙවන බවට ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවද ශපථ කර තිබුණි.
එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ හදිසි ඉවත්ව යෑමත්, තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යවරයෙක් (ෆයිසර් මුස්තාෆා) පත්වීමත්, එම පත්වුණු ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය 12 වැනිදා සිට විදෙස්ගතව සිටීමත් හේතුවෙන් මේ දක්වා එම මුදල ලබාදී නොමැති බව ක්‍රීඩා ක්ෂේත්රයෙන්ම වාර්තා වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 05ක් සමගින් පදක්කම් 06ක් දිනාගත් බැවින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය ගෙවීමට පොරොන්දු වී ඇති සමස්ත මුදල රු. ලක්ෂ 190කි. ඒ රිදී පදක්කමට රු. ලක්ෂ 40ක් සහ ලෝකඩ පදක්කම් 05ට එක පදක්කමකට රු. ලක්ෂ 30 බැගින් රු. ලක්ෂ 150කි.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීට පෙර ජාත්‍යන්තර පදක්කම් දිනා මෙරටට පැමිණ දින දෙකක් ඉක්ම යෑමට මත්තෙන් ඔවුනට හිමි මුදල් ත්‍යාග ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබුණද පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වැඩිම පදක්කම් දිනූ අවස්ථාවේ ඔවුනට හිමි මුදල් ත්‍යාග ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය මේ වන විටත් අපොහොසත්ව සිටී.
පදක්කම් දිනූ බර ඉසිලීමේ කණ්ඩායම මේ වන විට දිවයිනට පැමිණ සතියකට ආසන්න කාලයක් ගතව ඇති අතර, පදක්කම් ජයග්‍රහණය කළ බොක්සිං කණ්ඩායම දිවයිනට පැමිණ දින දෙකක් ඉක්ම ගොස් තිබේ. එහෙත් ක්‍රීඩා බලධාරීන් තවමත් ඔවුනට හිමි මුදල් ත්‍යාග ලබාදීමට පියවර ගෙන නොමැත.
මේ සම්බන්ධව තොරතුරු විමසීමට නව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කරගැනීමට අප ක්‍රීඩා අමාත්‍යාංශයට දුරකථන ඇමතුම් කිහිපයක් ලබාදුන්නද නව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් බුවනෙක හේරත් මහතා සම්බන්ධ කරගත නොහැකි විය.