රන්, රිදී හා ලෝකඩ පදක්කම බැගින් දිනාගනිමින් ආසියානු ගෝන් ප්රී මලල ක්රීඩා තරගාවලියේ චීනයේ ජින්හුවාහිදී පෙරේදා (24දා) නිමාවූ පළමු අදියරේ 06 වැනි ස්ථානය දිනාගැනීමට ශ්රී ලංකාව සමත් විය.
මෙම තරගාවලියේ පිරිමි මීටර් 800 ධාවන ඉසව්වට සහභාගි වූ ඉඳුනිල් හේරත් ශ්රී ලංකාව දිනාගත් එකම රන් පදක්කමේ හිමිකරුවා විය. ඔහු තම ඉසව්ව නිමාකිරීම සඳහා මිනිත්තු 01 තත්. 50.69ක කාලයක් ගත කළේය. කෙසේ වෙතත් ඉඳුනිල්ට මෙම තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පසුගියදා (09දා) දියගමදී වාර්තා කළ කාලය (මි. 1.49.90) අභිබවා යාමට මෙහිදී නොහැකි විය. ඔහු මෙම ඉසව්වේ වාර්තාකර ඇති හොඳම කාලය වන්නේ 2014 වර්ෂයේදී වාර්තා කළ මිනිත්තු 1.තත්. 48.69ක කාලයයි.
මේ අතර ශ්රී ලංකාව රන් පදක්කමක් බලාපොරොත්තුවෙන් සිටි ඉසව්වක් වූ හිමාෂ ඒශාන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ රිදී පදක්කම හිමිවිය. ශ්රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වන හිමාෂ, තරගය අවසන් කිරීම සඳහා තත්පර 10.43ක කාලයක් ගතකළ අතර, එහි රන් පදක්කම දිනාගත් චීනයේ මී හොන්ග් තත්. 10.37කින් තරගය නිමාකිරීමට සමත්විය.
මීටර 100 ඉසව්ව තත්. 10.26කින් අවසන් කර තම හොඳම කාලය වාර්තා කර ඇති හිමාෂ පසුගියදා ජැමෙයිකාවේදී පැවති ආරාධිත මලල ක්රීඩා තරගාවලියකදී සිය ඉසව්ව තත්පර 10.29කින් අවසන් කර මෙම වසරේ හොඳම කාලය වාර්තා වාර්තා කිරීමට සමත් විය.
මේ අතර ශ්රී ලංකාව හිමිකර ගත් ලෝකඩ පදක්කමේ හිමිකාරිය ගයන්තිකා අබේරත්න විය. මීටර් 800 ඉසව්ව නියෝජනය කළ ඇය තරගය අවසන් කිරීම සඳහා මිනිත්තු 2 තත්. 03.78ක කාලයක් වාර්තා කළාය. කෙසේ වෙතත් මීටර් 800 ඉසව්ව වත්මන් ශ්රී ලංකා වාර්තාවට (මි. 2.02.55) හිමිකම් කියන නිමාලි ලියනාරච්චිට මෙම තරගයේ 05 වැනි ස්ථානයෙන් තරගය නිමාකිරීමට සිදුවිය. ඇය තරගය අවසන් කිරීම සඳහා මි. 2.08.47ක කාලයක් ගතකළාය.
මේ අතර පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ ශ්රී ලංකා වාර්තාවට (83.04) හිමිකම් කියන සුමේධ රණසිංහට වාර්තා කිරීමට හැකි වූයේ මීටර් 71.12ක දුරක් පමණි. ඒ හේතුවෙන් ඔහුට හිමි වූයේ 07 වැනි ස්ථානයයි. එමෙන්ම එම ඉසව්වෙන් පසුගියදා මීටර් 80 සීමාව ඉක්මවූ වරුණ ලක්ෂාන්ට 08 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවූ අතර, ඔහුට විසිකළ හැකිවූයේ මී. 70.40ක් දුරක් පමණි.
මේ අතර තවත් ශ්රී ලංකා බලාපොරොත්තුවක් වූ කාන්තා මීටර් 100 ඉසව්ව නියෝජනය කළ රුමේෂිකා රත්නායකට සිය ඉසව්ව තත්. 11.82ක කාලයක් වාර්තා කර 05 වැනි ස්ථානය දිනාගැනීමට සිදුවිය. රුමේෂිකා දකුණු ආසියාවේ සිටින වේගවත්ම (තත්. 11.60) ක්රීඩිකාව වේ.
මෙම තරගාවලිය (අදියර) සඳහා ක්රීඩක ක්රීඩිකාවන් 11 දෙනෙකු සහභාගි වූ අතර, උස පැනීමේ ජාතික ශූර මංජුල කුමාරද මේ සඳහා සහභාගි වීමට නියමිතව තිබුණද, අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු සහභාගි නොවීය.
තරගාවලියේ දෙවැනි අදියර එළඹෙන 27 වැනිදා චීනයේ ජියාසින් නගරයේදී පැවැත්වෙන අතර, තෙවැනි හා අවසන් අදියර එළඹෙන 30 වැනිදා තායිවානයේ තායිපේ සිටි හිදී පැවැත්වේ.