නුවරඑළිය මෝටර් රේසිං ධාවන තරගාවලිය වර්ෂයක් පාසා දැඩිව කතාබහට ලක්වන මෙරට ප්රමුඛ පෙළේ ධාවන තරගාවලියකි. ඊට හේතුව වර්ෂයක් පාසා මෙම තරගාවලියේදී ක්‍රීඩකයන් අනතුරට පත්වීමද හඳුන්වාදිය හැකිය. තියුණු තරගකාරීත්වයක් පවතින මෙම තරගාවලිය මෙවරද සංවිධානය වූයේ නොයෙකුත් ගැටලු රාශියක් මධ්‍යයේය.
කෙසේ වෙතත් තරග සංවිධායකයන් සිය උපරිම දායකත්වය මෙවර තරගාවලියට යොමුකළද, එය නිමාවට පත්වූයේ මෙරට මෝටර් රේසිං ධාවන පථයේ පුරාවෘත්තයක් බඳු ආනන්ද වෙඩිසිංහයන්ව ධාවන පථයට මෙන්ම ජීවන පථයෙන්ද අහිමි කරමිනි.
මෙවර තරගාවලියේ ආරක්ෂාව පිළිබඳව නොයෙකුත් පුවත් මාධ්‍ය ඔස්සේ පළවුණු අතර, ආනන්ද වෙඩිසිංහයන්ගේ අභාවය රිය අනතුරක් නොව ඝාතනයක් යැයි සැක පළකරන තරමට එම පුවත් ප්‍රබල විය.
එනිසාම මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නුවරඑළිය මෝටර් රේසිං ධාවන තරගාවලිය සංවිධානය කළ ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජය (Sri Lanka Motorcycle Club) පසුගියදා (06දා) මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි. එහිදී එම සංගමයේ ලේකම් අනිල් ජයකොඩි මහතා සේම, තරගාවලිය නියෝජනය කළ තරගකරුවෝද අදහස් දැක්වූහ.
මෙම සටහනෙන් විමසා බැලෙන්නේ එම මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් පිළිබඳවයි.
පසුගිය අප්‍රේල් මස 23 වැනිදා නුවරඑළියේදී පැවැති නුවරඑළිය මෝටර් රේසිං ධාවන තරගාවලිය සඳහා හැකි උපරිම ආරක්ෂාවක් ලබාදුන් බවත්, වසර 70ක් වන මෙම තරගාවලියේම පළමු වරට ක්‍රීඩකයන්ට අනතුරු සඳහා රු. මිලියනයක මුදලක් ලබාදීමට පියවර ගත් බවත්, එම තරගාවලිය සංවිධානය කළ ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය (Sri Lanka Motorcycle Club) එහිදී පැවසීය.
එහි ලේකම් අනිල් ජයකොඩි මහතා ප්‍රකාශ කළේ, ආනන්ද වෙඩිසිංහ වැනි විශිෂ්ට ධාවකයෙකු මෙම තරගාවලිය අතරතුර ජීවිතක්ෂයට පත්වීමෙන් මෙම තරගාවලියට මෙන්ම, එය සංවිධානය කළ ක්‍රීඩා සමාජයටද මේ වනවිට පදනම් විරහිතව චෝදනා නැගෙන බවත් එහෙත් එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනිල් ජයකොඩි මහතා,
''අපි මෙම තරගාවලිය සංවිධානය කරන්නෙ නුවරඑළිය මහ නගර සභාවත් සමග ඒකාබද්ධවයි. අපි දැනට අවුරුදු 70ක් පමණ සිට මෙම තරගාවලිය සංවිධානය කරනවා. එහෙත් මෙවර අපිට තරගාවලිය සංවිධානය කිරීමේදී යම් ගැටලුවක් පැන නැගුණා. එනම් නුවරඑළිය මෝටර් රේසිං ක්‍රීඩා සමාජය වෙනදා අපට දක්වන සහයෝගය මෙවර දැක්වූයේ නැහැ.
එනිසාම අපිට 'මාර්ෂලිං' වැඩ සඳහා යුද හමුදාවේ සහාය පතන්න වුණා. ඒ වගේම වෝකිටෝකි නැතුව තරගාවලිය කළා කියලත් චෝදනාවක් තිබුණා. එවැනි දැවැන්ත තරගාවලියක් වෝකිටෝකි නැතුව කරන්න බැහැ. ඊට අමතරව පොලිස් නිලධාරීන් යොදවලා තිබුණා. ඔවුන් ළඟත් පොලීසියට අයත් වෝකිටෝකි තිබුණා. අපි තරගාවලියට අවශ්‍ය සම්පූර්ණ ආරක්ෂාව තහවුරු කරලා තිබුණා.
ඒ වගේම අපි පසුගියවර අනතුරක් සිදුවුණාම රු. ලක්ෂ 02ක මුදලක් පමණයි ලබාදුන්නේ. එහෙත් මෙවර අපි සියලුම ධාවකයන්ට (යතුරුපැදි හා මෝටර් රථ) රු. මිලියනයක රක්ෂණාවරණයක් ලබාදීලයි තිබුණේ. අපි දන්නවා එම මුදල් ප්‍රමාණවත් නැහැ. එහෙත් අපි අපට ලබාදිය හැකි උපරිම පහසුකම් හා ආරක්ෂාව ලබාදුන්නා.
ඒ වගේම කිවයුතුයි මෙවර ධාවන පථය තරමක් පළල්ව සකසලා තිබුණේ. එනිසා පසුගියවර අපි වැලිකොට්ට යොදාගත්තේ 2000ක් පමණයි. එය මෙවර 3000ක් දක්වා වැඩි කරලා ආරක්ෂාව තවත් තහවුරු කළා'' යැයි පැවසීය.
කෙසේ වෙතත් මෙවර තරගාවලිය අතරතුර විශිෂ්ට යතුරුපැදි ධාවකයෙකු වන ආනන්ද වෙඩිසිංහ මහතා අනතුරකට ලක්ව මියයාම සම්බන්ධයෙන් විවිධ පුවත් මාධ්‍යයේ පළවිය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලේකම්වරයා,
''මේ අනතුර සිදුවුණු ස්ථානය තමයි ධාවන පථයේ තිබෙන පළල්ම ස්ථානය. මෙම අනතුර අනපේක්ෂිත අනතුරක්. ඒක 'රේසිං ඇක්සිඩන්ට්' එකක් ලෙස අපට හඳුන්වන්න පුළුවන්. මීට පෙරත් මෙවැනි සිද්ධි වාර්තා වුණා.
මෙම අනතුර සිදුවුණු ස්ථානයේ සිට රෝහලට තිබෙන්නේ කිලෝමීටර එකහමාරක දුරක්. අනික ගිලන් රථ අපි ලෑස්ති කරලා තිබ්බේ. පරක්කු වෙලා රෝහලට ගෙනගියා කියන කතාව අසත්‍යයක්. අනික වෛද්‍යවරයෙකු නැතුව ගිලන් රථයක් එවන්නේ නැහැ. නැත්නම් අපිටත් වාහනයක් තියන්න තිබුණනේ.
අනික ධාවන පථයේ කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. වෙඩිසිංහ මහතාගේ අනතුර අවාසානාවන්ත සිද්ධියක්. බොහෝ අය ෆේස්බුක් සමාජ මාධ්‍ය යොදාගෙන අපිට මඩ ගහනවා. නමුත් තරගකරුවන් 170ක් (යතුරුපැදි) ක්‍රීඩා කළත්, ඔවුන් එක්කෙනෙක්වත් අපිව විවේචනය කරලා තිබුණේ නැහැ'' යැයි ප්‍රකාශ කළේය.
මේ වනවිට ආනන්ද වෙඩිසිංහයන් අපට අහිමිවී හමාරය. එහෙත් මෙවැනි විශිෂ්ට ධාවකයන් රැකගැනීම සඳහා අනාගතයේදී අපට ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ක්‍රීඩා බලධාරීහු තවමත් මුණිවත රකිමින් සිටිති. එය මෙරට අනාගත මෝටර් රේසිං ක්‍රීඩාවට එල්ල කරන බලවත් අතුල් පහරක් බවද කිව යුතුය.
විශේෂයෙන් සංවිධායකයන් ඔවුන්ට හැකි උපරිම දායකත්වය මෙවැනි තරගාවලි සදහා ලබාදෙන පසුබිමක ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීම ඔවුන් නිසිපරිදි ඉටුකර ඇතිදැයි යන්න ගැටලුවක් පැනනැගෙයි. අනාගත වෙඩිසිංහලාගේ ජීවිත රැකගැනීම උදෙසා දැන්වත් මෝටර් රේසිං ක්‍රීඩාව නිසි ප්‍රමිතියකින් යුක්තව හරි ධාවන පථයකට ගැනීමට ක්‍රීඩා බලධාරීන් මෙහෙයවිය යුතු කාලය එළඹ තිබේ.
එසේ නොවන තාක්කල් තවත් වෙඩිසිංහලා අපට අහිමිවනු නොඅනුමානය. ක්‍රීඩා අමාත්‍යතුමනි! දැන්වත් මෙම ගැටලුවට අවශ්‍ය ස්ථිරසාර විසඳුමක් ලබාදීමට පියවර ගන්නේ නම් මැනවි.!
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු