ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එක්ව ඉදිකිරීමට යෝජිත නුවරඑළිය අධිඋන්නතාංශ ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් ලබන මස ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා 'අද'ට පැවසීය.
එමෙන්ම මේ සඳහා යෝජිත ගිවිසුමේ සැලසුම් සියල්ල නිමාකර ඇති බවත්, අවසන් ගිවිසුම අත්සන් කිරීම ඉදිරියේදී සිදුකරන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.
මෙම ක්‍රීඩා සංකීර්ණය ක්‍රිකට්, රග්බි, පාපන්දු, හොකී, පිහිනුම්, ටෙනිස් ඇතුළු ක්‍රීඩා රැසකට අදාළ යටිතල පහසුකම්වලින් සමන්විත වන අතර, මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෙනහළු ධාරිතාව ඉහළ නැංවීමට මෙන්ම ඔවුන්ගේ දරාගැනීමේ ශක්තිය සහ ශාරීරික ශක්තිය ඉහළ නැංවීමට මෙමගින් අපේක්ෂා කෙරේ.
එමෙන්ම මෙම ක්‍රීඩා සංකීර්ණය ආසියානු කලාපයෙහි වඩාත් ආකර්ෂණීය ස්ථානයක ස්ථාපිත කිරීමට කටයුතු යෙදීමෙන් සැලකිය යුතු විදේශ විනිමය උත්පාදනයක් ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක වියදමකින් ඉදිකෙරෙන මෙම අධිඋන්නතාංශ ක්‍රීඩා සංකීර්ණයේ වැඩකටයුතු වසර 03කින් (2020) නිමා කිරීමට අදාළ අමාත්‍යාංශ බලාපොරොත්තු වන අතර, දේශීයව සිදුකෙරෙන වැඩකටයුතුවලදී හැටන් නැෂනල් බැංකුව සමග ණය සම්මුති සාකච්ඡාවක් සිදුකළ බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කරමින් පවසයි.
මෙහිදී මෙම ක්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් වටිනාකම යුරෝ 75,528,700. 91ක් වන අතර, එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනයේ (United Kingdom Export Finance - UKEF) ඍජු ණය පහසුකම් (Direct Lending Facility) සහ මෙරට හැටන් නැෂනල් බැංකුවේ මූල්‍යමය දායකත්වය යටතේ මෙය ක්‍රියාත්මක වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයේ දැක්වේ.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එලිප්ස් ප්‍රොජෙක්ට්ස් එස් ඒ එස් (Ellipse Projects SAS) යන සමාගම කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය විසින් තෝරාගෙන තිබේ. 2016 වසරේ දෙසැම්බර් මස 20 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය හා අදාළ කොන්ත්‍රාත් සමාගම අතර ගිවිසුමකට එළැඹීමටද අවසර ලබාදී තිබේ.
ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් වටිනාකමින් ආසන්න වශයෙන් 70%ක් ආවරණය වන පරිදි එනම් යුරෝ 51,576,006.15ක් දක්වා අපනයන ණය පහසුකමක් ලබාගැනීම සඳහා එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනය සමගද ණය සම්මුති සාකච්ඡා අවසන් කර ඇතැයි හෙළිවේ.
මෙහිදී අදාළ කොන්ත්‍රාත් වටිනාකමින් ඉතිරිය ආවරණය කිරීම සඳහා එනම් යුරෝ 23, 952,694.76කට සමාන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණයක් ණය පහසුකමක් වශයෙන් ලබාගැනීමට හැටන් නැෂනල් බැංකුව සමග ණය සම්මුති සාකච්ඡා නිමා කළ බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.
මීට අදාළව විදෙස් රටවලින් ලබාගන්නා ණය පහසුකම් සඳහා වසර 03ක සහන කාලයක් ඇතුළත්ව වසර 13ක ආපසු ගෙවීමේ කාලසීමාවක් යටතේ පොලී අනුපාතය සැකසීමටද එකඟත්වය පළකර ඇතැයි අනාවරණය වේ.
මෙම ව්‍යාපාතියේ සමස්ත ණය මුදලෙන් 0.5%ක අනුපාතිකයට සමාන එකවර ගෙවනු ලබන පිළියෙල කිරීමෙන් ගාස්තුවක් සහ 2.5%ක රක්ෂණ වාරිකයක්ද ඇතුළත් කිරීමේ මෙම සමස්ත ණය මුදල යුරෝ 52,898,467.85ක් දක්වා ඉහළ යන බවද ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයේ දැක්වේ.
මෙහි ණය පහසුකම් පිළියෙලකරු ලෙස හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු සීමිත සමාගම හා හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු පොදු සමාගම එක්ව කටයුතු කරන අතර, නියෝජිතයා ලෙස හොංකොං ඇන්ඩ් ෂැංහයි පොදු සමාගම කටයුතු කරයි.
අප මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් කරුණු විමසා සිටි අතර, එහිදී ඔහු පවසා සිටියේ, ක්‍රීඩා සංකීර්ණයේ වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා අවසන් ගිවිසුම් සාකච්ඡා කිරීමට අදාළ බලධාරීන් මේ වනවිටත් ලංකාවට පැමිණ ඇති බවයි.