70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු 'නිදහස් කුසලාන' පන්දුවාර විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (06දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමත්, අසල්වැසි ඉන්දීය කණ්ඩායමත් මුහුණට මුහුණ තරග වැදීමට නියමිතය.
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ සිදුකළ සාර්ථක තරග සංචාරයකින් පසුව ශ්‍රී ලංකාවේදී තරග වදින අතර, ඉන්දීය කණ්ඩායම ද.අප්‍රිකාවේ සිදුකළ සාර්ථක තරග සංචාරයකින් පසුව මෙම තුන්කොන් තරගාවලියට එක්වේ. කණ්ඩායම් දෙකම මානසිකව ඉදිරියෙන් සිටින බැවින් අද තරගයේදී දෙපිලෙන්ම හොඳ තරගයක් අපේක්ෂා කළ හැකිය.
ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාට් කෝලී මෙන්ම මහේන්ද්‍ර සිං දෝනි, හර්දික් පාන්ඩ්යා, බුවනේෂ්වර් කුමාර්, අජන්ක්‍යා රහානේ සහ කුල්දීප් යාදෙව් මෙම තුන් කොන් තරගාවලියෙන් විවේක ගන්වා ඇති බැවින් එය යම් ප්‍රමාණයකට ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකර තත්ත්වයකි. එහෙත් අප අමතක නොකළ යුත්තේ තුන්කොන් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදෙන රෝහිත් ශර්මා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හොඳින් දක්ෂතා දක්වන පිතිකරුවෙකු බවයි.
ඔහු මෙන්ම ආරම්භක පිතිකරු ශිකර් දවාන් මෙන්ම කලකට පසුව ඉන්දීය එක්දින කණ්ඩායමට ඇතුළත්ව සිටින සුරේෂ් රයිනාද ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් එල්ල කළ හැකි පිතිකරුවන් දොපළකි. රෝහිත්, දවාන්, රයිනා සහ කාර්තික් හැරෙන්නට සෙසු ඉන්දීය ක්‍රීඩකයන් තවමත් ජාත්‍යන්තර එක්දින තරග බිමේ එතරම් කතා බහට ලක් වූ ක්‍රීඩකයන් නොවන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වැඩි දක්ෂතා අපේක්ෂා කළ හැක. කෙසේ වෙතත් මෑතක සිට ජාත්‍යන්තර පිටියේදී වේගයෙන් දියුණු වෙමින් වැඩි කතා බහට ලක්වන දඟපන්දු යවන්නෙකු වන යුෂ්වෙන්ඩ්ද්ර චාහල් වෙත වැඩි අවධානයක් යොමු කිරීම නුවණට හුරුය.
අාබාධයක් හේතුවෙන් බංග්ලාදේශය සමග පැවැති තුන්කොන් එක්දින තරගාවලියේදී කණ්ඩායමෙන් ඉවත් වූ කුසල් ජනිත් පෙරේරා නැවතත් කණ්ඩායම සමගින් එක්ව සිටින බැවින් එය ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකරය. බොහෝ දුරට අද තරගයේදී කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, අකිල ධනංජය, සුරංග ලක්මාල් සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතී.
තරගාවලිය ගැන දැනුම්වත් කිරීමේ හමුවක් ඊයේ (05 දා) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැති අතර, මෙම අවස්ථාවට එක්ව සිටි නායකයන් තිදෙනාම සඳහන් කර සිටියේ තරගාවලියට සාර්ථකව මුහුණදීමට කණ්ඩායමක් ලෙස තමන් සූදානම් බවයි. එමෙන් තරගාවලිය ජය ගැනීමේ හැකියාව තම කණ්ඩායම සතු බවද නායකයන් තිදෙනාම සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා සංචිතය -කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් (නායක), තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, අකිල ධනංජය, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, අමිල අපොන්සු, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්
ඉන්දීය සංචිතය -රෝහිත් ශර්මා (නායක), ශිකර් දවාන්, ලෝකේෂ් රාහුල්, සුරේෂ් රයිනා, දීපක් හුඩා, දිනේෂ් කාර්තික්, මොහොමඩ් සිරාජ්, යුෂ්වෙන්ද්ර චාහල්, මනීෂ් පාන්ඩේ, රිෂාබ් පන්ට්, අක්ෂර් පටෙල්, විජේ ශන්කර්, ශර්දුල් තාකුර්, ජාදෙව් උන්ඩ්කට්, වොෂින්ටං සුන්දර්
අද (06දා) තරගය මෙරට වේලාවෙන් ප.ව 7.00ට ආරම්භ වීමට නියමිතය.
ඡායාරූපය - ඒෂාන් ප්‍රනාන්දු