හිටපු ශ්රී ලංකා ක්රිකට් නායකයෙකු සහ විශිෂ්ට දකුණත් පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන විසින් පසුගියදා ශ්රී ලංකා ක්රිකට් ආයතනය සිදු කළ ආරාධනයක් පිළිගෙන නිදහස් කුසලානයට පෙර පැවැත්වෙන පුහුණුවීම් අතරතුර යම් උපදේශන කටයුත්තක් වෙනුවෙන් ශ්රී ලංකා කණ්ඩායම මුණ ගැසී ඇත.
දැනටත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු වන මහේල ක්රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙසින් විස්සයි20 ක්රිකට් තරග ආකෘතිය තුළ ක්රියාකාරී නිසා ඔහුට මෙම ආරාධනාව සිදු කළ බව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසයි. එයට වැඩිදුරටත් අදහසක් එක් කරන ඔහු "මේ කටයුත්තට ඔහුට වඩා සුදුස්සෙකු නෑ" යනුවෙන්ද ඉන්දීය වෙබ් අඩවියකට පවසා ඇත.
පැය දෙකහමාරක කාලයක් පුරා සිදුවුණු මෙම කතාබහ සහ උපදේශන මාලාව ක්රීඩකයන් තුළ දැඩි ආත්ම විශ්වාසයක් ඇති කරන්නට සමත් වූ බවද කළමනාකාරවරයා පවසයි.