ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජයේ සම්පූර්ණ වගකීම නායකයා වශයෙන් තමන් භාරගන්නා බවත්, එහෙත් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේය.
මැතිව්ස් මේ බව අනාවරණය කළේ ඊයේ (14දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය. ඒ සම්බන්ධව වැඩිදුර අදහස් දැක්වූ
ශ්‍රී ලංකා නායකයා,
''නායකත්වයෙන් ඉවත්වෙන්න මම හිතලාවත් නැහැ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක්වත් පැවැත්තුවේ නැහැ. බොහෝ මාධ්‍ය හා සමාජ මාධ්‍යවල ගොඩක් දේවල් පළවෙලා තිබුණා. තරගාවලියේ පරාජයේ වගකීම සමස්ත කණ්ඩායම වෙනුවෙන් මම භාරගන්නවා. අපෙන් උඩපන්දු කිහිපයක් ගිලිහුණා. පළමු තරගයේදී පරාජයට පත්වුණායින් පසුව අපි ඉන්දියාවට එරෙහිව ඉතා හොඳින් ක්‍රීඩා කරලා ජයගත්තා.
නමුත් තෙවැනි තරගයේදී අපි දැනන් හිටියා එම තරගය ජයගත යුතුයි කියලා. අපෙන් අඩුපාඩු ගොඩක් වුණා. නමුත් අපි නරකම කණ්ඩායමක් නෙවෙයි. අපෙන් අවස්ථා කිහිපයක් ගිලිහුණා වගේම අපි වැරදි කිහිපයකුත් කළා. එයින් තරගය මෙන්ම තරගාවලියත් අපෙන් ගිලිහුණා'' යැයි ප්‍රකාශ කළේය.
තරගාවලියේ ධනාත්මක සාධක පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් පවසා සිටියේ, තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා හා ඉන්දියාවට එරෙහි තරගය ජයගැනීම ධනාත්මක සාධක ලෙස හැඳින්විය හැකි බවයි.
එසේම ඇන්ජලෝ මැතිව්ස් මෙහිදී පවසා සිටියේ, අසේල ගුණරත්නව වැඩිපුර පන්දු යැවීම සඳහා යොදා නොගත්තේ, නායකයෙකු ලෙස තමා ගත් තීරණයක් හේතුවෙන් බවයි.
''මට ඉන්දීය තරගයේදී හිතුණා දෝනි ක්‍රීඩා කරන විට දඟපන්දු යවන්නන් යොදාගන්න හොඳ නෑ කියලා. එය හරියන්නත් තිබුණා. වැරදෙන්නත් තිබුණා. ඉතින් ඒ අවස්ථාවේදී මං හරි තීරණයක් ගත්තා. අසේල කියන්නේ හොඳ පන්දු යවන්නෙක්. එහෙත් තරගාවලියේදී දඟපන්දු යවන්නන්ට තණතිලි යෝග්‍ය වුණේ නැහැ. එනිසා එය අවස්ථානුකූලව ගත් තීරණයක්'' යැයි මැතිව්ස් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
තරගාවලියට රැගෙන ගිය දඟපන්දු තුරුම්පුව ලෙස හැඳින්වූ ලක්ෂාන් සඳකැන් තරගාවලියට යොදා නොගැනීම පිළිබඳව අදහස් පළකළ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු හා තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ මහතා,
''අපි තරග තුනටම ඔහුව පාවිච්චි කළේ නැත්තේ තණතීරුවල ස්වභාවය අනුවයි. එකම කණ්ඩායමකවත් දඟපන්දු යවන්නත් හරියට ක්‍රීඩාකළේ නැහැ, දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තහීර් හැරුණුකොට. ඉන්දියාවත් අශ්වින්ව එළියෙන් තියලා සෙල්ලම් කළේ. තරගාවලියේ ලැබුණු තණතීරු දෙස බැලුවාම අපිට තේරුණා දඟපන්දු යවන්නන්ගෙන් කිසිවක් කිරීමට නොහැකියි කියලා'' යැයි පැවසීය.
මෙහිදී අතිරේක ක්‍රීඩකයන් සිටියදී ශ්‍රී ලංකාවෙන් ධනංජය ද සිල්වා එංගලන්තයට කැඳවා ක්‍රීඩා කරවූයේ, අත්දැකීම් ඇති පිතිකරුවෙකු මැදපෙළට අවශ්‍ය වූ නිසා බවද ගුරුසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, තරගාවලියෙන් ඉවත්වීම පිළිබඳව කනගාටු වන බවත් ක්‍රිකට් ආයතන පැත්තෙන් ගත්තාම විශාල මහන්සියක් දැරූ බවත්ය.
ඡායාරූප - ඉසුරු පෙරේරා