බොට්ස්වානාහිදී ආරම්භවීමට නියමිත දැල්පන්දු යොවුන් ලෝක කුසලාන තරගාවලියට නම් කළ පුහුණු උපදේශක හයසින්ත් විජේසිංහ මහත්මියට අදාළ තනතුරේ රාජකාරි කටයුතු සිදුකිරීමට විවිධ පාර්ශ්ව වෙතින් බලපෑම් එල්ලව ඇතැයි දැල්පන්දු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පුහුණුකාරිනියන් දෙදෙනෙකු තරගාවලිය සඳහා නම් කිරීම හේතුවෙන් මේ වනවිට අදාළ පුහුණුකාරිනියන් අතර බල අරගලයක් නිර්මාණය වී ඇතැයි පැවසේ. එසේම එම පුහුණුකාරිනියන් සිය හිතවත් ක්‍රීඩිකාවන්ට විශේෂ කොට සැලකීම හේතුවෙන් දැල්පන්දු සංචිතය තෝරාගැනීම මේ වනවිටත් කල්දමා ඇතැයි අනාවරණය වේ.
මෙහිදී පුහුණු උපදේශක වශයෙන් කටයුතු කරන හයසින්ත් විජේසිංහ මහත්මියගේ උපදෙස් පුහුණුවීම් සිදුකරන අතරතුර අනෙකුත් පුහුණුකාරිනියන් පිළිගැනීමට මැලිවීම හා ඔවුන් හිතුමතේට පුහුණුවීම් සිදුකිරීම හේතුවෙන් මෙම අර්බුදයන් නිර්මාණය වී තිබේ. එසේම මේ වනවිට 20 දෙනෙකුගෙන් යුත් සංචිතයද මෙම පුහුණුකාරිනියන්ගේ කල්ලි බවට පත්ව ඇතැයිද, එමගින් නිසි සංචිතයක් පත්කර ගැනීමටද නොහැකිවී ඇතැයිද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට පුහුණුකාරිනියන් හා දැල්පන්දු උපදේශක හයසින්ත් විජේසිංහ මහත්මිය සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද, එම උත්සහය ව්‍යර්ථ විය.
මෙහිදී අදාළ සංචිතයට නේවාසිකව පුහුණුව ලබාදීමට පියවර ගෙන ඇති අතර, දකුණු කොරියානු සංචාරයේදී (ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී) දැඩි කතාබහට ලක්වූ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු අතර පවතින අසම්මත හැසිරීම් හේතුවෙන් සංචිතයේ පුහුණුවීම් හා අනෙකුත් ක්‍රියාකාරකම්ද ආපස්සට ගොස් තිබේ. එමෙන්ම මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාට එක්තරා ප්‍රබල දැල්පන්දු චරිතයක් මෙවැනි අසම්මත සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් දැඩිව අවවාද කර ඇති අතර, මින් ඉදිරියට එවැන්නක් සිදුවන්නේ නම් ඔවුන් සංචිතයෙන් ඉවත් කරන බවද පවසා තිබේ.
මේ අතර මෙම නේවාසික පුහුණුවේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු කල්ලියක් නිර්මාණය කරගෙන, කනිෂ්ඨ ක්‍රීඩිකාවන්ට තර්ජනය කිරීමේ සිද්ධියක්ද වාර්තා වේ. මේ හේතුවෙන් පසුගිය සෙනසුරාදා (10දා) බොට්ස්වානා යන අවසන් සංචිතය (අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනා) තෝරාගැනීමට නියමිතව තිබුණද, එය තවත් සතියකින් කල් දැමීමට දැල්පන්දු පරිපාලනය තීරණය කර තිබේ.
මෙම ගැටලු සම්බන්ධයෙන් වහා මැදිහත් වන්නැයි මේ වනවිටත් ලිඛිතව ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් දෙමවුපියන් ඉල්ලා ඇතත්, ඊට මේ වනතෙක් යහපත් ප්‍රතිචාරයක් අමාත්‍යවරයාගෙන් හෝ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබී නොමැත.
කෙසේ වෙතත් දැල්පන්දු අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනුයේ ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී රටට සිදුවූ අපකීර්තියට මේ වනවිටත් පරීක්ෂණ පැවැත්වෙන මොහොතක එහි ප්‍රතිඵල නොබලා සංචිතයක් පුහුණු කරවීම මෙම අර්බුදය ත්රීව්ර වීමට හේතුවී ඇති බවයි.
දකුණු කොරියාවේදී තරග පරාජයන්ට වගකිව යුතු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවක්ද මෙම සියලු අර්බුද මෙහෙයවන බවද අනාවරණය වේ. ඊට හොඳම නිදසුන ලෝක කුසලාන සංචිතයේ පුහුණුකාරිනියන් පවා ඇයගෙන් විමසා සංචිතයේ ක්‍රීඩිකාවන් තෝරාගන්නා අමුතු ක්‍රමවේදයක් මේ වනවිට දක්නට ඇති ඇතැයි වාර්තා වේ.