දැල්පන්දු යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සහ නිලධාරීන් සිවුදෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ (03දා) රාත්‍රී බොට්ස්වානා රාජ්‍ය‘යේ ගැබරෝන් නගරය බලා පිටත්ව ගියේය.
මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම 'ඒ' කාණ්ඩයෙන් තරග කිරීමට නියමිත අතර, එම කාණ්ඩයට ස්කොට්ලන්තය, නවසීලන්තය, සැමෝවා හා උතුරු අයර්ලන්තය යන රටවල් අයත්ය.
තරගාවලියේ 'බී' කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බාබඩෝස්, සිම්බාබ්වෙ හා සිංගප්පූරුවද, 'සී' කාණ්ඩයට ජැමෙයිකාව, සත්කාරක බොට්ස්වානා රාජ්‍යය, කුක් දිවයින, මැලේසියාව හා උගන්ඩාව යන රටවල් ඇතුළත්ය.
එංගලන්තය, ෆීජි, ට්‍රිනිඩැඩ් සහ ටොබැගෝ, වේල්සය හා ග්‍රෙනඩාව යන රටවල් 'ඩී' කාණ්ඩයෙන් ක්‍රීඩා කරයි.
තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කණ්ඩායම් පුහුණුකාරිනී ජානකී ගුණසේකර,
“තරගාවලිය සඳහා සූදානම් වීමට අපට ඉතාම කෙටි කාලයයි ලැබුණේ. අපට හැකි උපරිම ශක්තියෙන් සූදානම් වුණා. මම හිතනවා මේ වනවිට අපට ලබාදුන් කණ්ඩායමට වඩා කායිකව හා මානසිකව ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා කියලා. අපට ලැබුණේ මානසිකව ගිලිහුණු ක්‍රීඩිකාවන් ඉන්න කණ්ඩායමක්. මේ වනවිට කණ්ඩායම එකමුතුව ක්‍රීඩා කරනවා. බාහිරින් ආපු සියලු බලවේග පරාජයට පත්කරමින් හොඳ සූදානමක් කණ්ඩායම තුළ තිබෙනවා.
තේරීම් කමිටුව අපට ලබාදුන් කණ්ඩායම අපි මේ වනවිට ඉතා හොඳ කණ්ඩායමක් බවට පත්කරලා තිබෙනවා. තරගයෙන් තරගයට අපි අවස්ථාව අනුව කටයුතු කරන්න අපේක්ෂා කරනවා. ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා කළමනාකරණය කරමින් ඉදිරියට යන්න බලනවා.
යොවුන් කණ්ඩායම මීට පෙර සංචාරවලදී සිදුකළ වැරදි පිළිබඳවත් අපි අවධානය යොමුකර තිබෙනවා. ඒ වැරදි නිවැරදි කරන්නත් අපි අපේක්ෂා කරනවා.
ක්‍රීඩිකාවන්ගේ මානසිකත්වය හදන්න අපි බොහෝ උත්සාහ කළා. පසුගිය සංචාරයට ගිය ක්‍රීඩිකාවන් 12 දෙනාගෙන් 08 දෙනෙක් මෙම තරගාවලියට ඉන්නවා. මමයි මගේ සහාය පුහුණුකාරිනිය අමල්කා ගුණතිලක මහත්මියයි දෙදෙනාම සාමූහිකව කණ්ඩායම ඉහළ තලයකට ගේන්න වෙහෙස මහන්සි වුණා. කණ්ඩායම් හැඟීම, සාමූහික බව, ක්‍රීඩාශීලිත්වය වර්ධනය කරන්න අපට හැකිවෙලා තිබෙනවා.
මේ වනවිට මෙම සංචිතය ඉතා හොඳ කණ්ඩායමක් බවට පත්වෙලා තිබෙනවා. ඉදිරි තරගාවලි එනම්, 2018 ආසියානු, 2019 යොවුන් හා වසර 04කින් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියටත් මෙම කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සිටිනවා. ඉතින් ක්‍රීඩිකාවන් කළමනාකරණය කිරීම පරිපාලනයේ වගකීමක්. අපි ඒ සඳහා හැකි උපරිමයෙන් උදවු කරනවා.'' යැයි පවසා සිටියාය.
දැල්පන්දු යොවුන් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන 08 වැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 1998 (ඔස්ට්‍රේලියාව), 1992 (ෆිජී), 1996 (කැනඩාව), 2000 (වේල්සය), 2005 (ඇමෙරිකාව), 2009 (කුක් දිවයින) හා 2013 (ස්කොට්ලන්තය) යන රටවලදී තරගාවලි සංවිධානය වී තිබේ.
පසුගිය වර (2013) තරගාවලියට කණ්ඩායම් 20ක් එක්ව සිටි අතර, ශූරතාව නවසීලන්තයටද, අනුශූරතාව ඔස්ට්‍රේලියාවටද හිමිවිය. එවර තෙවැනි ස්ථානය දිනාගත්තේ ජැමෙයිකාවය.
මෙවර තරගාවලියටද කණ්ඩායම් 20ක් එක්ව සිටින අතර, අප්‍රිකානු කලාපයක තරගාවලිය පැවැත්වෙන්නේ පළමුවරටය.
තරගාවලිය පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා දැල්පන්දු නායිකා මන්දිරා චාරුණි,
“මෙම කෙටි කාලය තුළ අපේ කණ්ඩායමට හොඳ පුහුණුවක් ලැබුණා. පළමු තරගය 08 වැනිදා අපට ස්කොට්ලන්තය සමග තිබෙන්නෙ. එම තරගය ජයගන්න අපි උත්සාහ කරනවා. ජයග්‍රහණය සඳහා අපේ කණ්ඩායම ඉතා හොඳ මට්ටමක ඉන්නවා.
මට ලැබිලා තියෙන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාම දක්ෂ ක්‍රීඩිකාවන්. ඕනෑම ක්‍රීඩිකාවක් ආදේශ කරලා ක්‍රීඩා කරන්න පුළුවන් ශක්තිය අපට තිබෙනවා. මෙම කණ්ඩායමත් සමග ලෝක කුසලාන තරගාවලියේදී රටට කීර්තියක් දිනාදෙන්න හැකිවේවි කියලා මම විශ්වාස කරනවා.
ආසියානු යොවුන් තරගාවලියට ගිය කණ්ඩායමට වඩා මෙම තරගාවලියට යන කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් වෙලා තිබෙනවා. අපට සමස්ත තරගාවලිය ජයගැනීමේ හැකියාව අවම වුණත් ලැබිලා තිබෙන කණ්ඩායම් සමග හොඳ තරගයක් දෙන්න බලනවා. විශේෂයෙන් ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තය සමග තරග ජයගන්න අපි අපේක්ෂා කරනවා.
එසේම ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටයට යන්නත්, ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එන්නත් අපේක්ෂා කරනවා.
මේ වනවිට අපට හොඳ පුහුණුවක් ලැබිලා තිබෙනවා. ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හා කුසලතා වැඩිදියුණු කරගෙන ඉන්නවා. කෙටිකාලීන පුහුණුවක් තුළ අපේ කණ්ඩයම ඉහළ මට්ටමකට පැමිණිලා තිබෙනවා'' යැයි ප්‍රකාශ කළාය.
තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය මෙම මස 08 වැනිදා තරග වැදීමට නියමිතය.
මෙවර තරගාවලිය මේ මස 16 වැනිදා දක්වා බොට්ස්වානාහි ගැබරොන් නුවරදී පැවැත්වේ.