පළමු තරගය පැරදුණත්, දඹුල්ලේදී ප්‍රේක්ෂකයන් තමන්ට විශාල සහයෝගයක් ලබාදුන් බවත්, සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් තරගයකට පිවිසෙන්නේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක උපුල් තරංග පැවසීය.
තරංග මේ බව පවසා සිටියේ, පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (23දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ ශ්‍රී ලංකා නායකයා,
“කණ්ඩායමක් විදිහට අපි මීට වැඩිය ගොඩක් දේවල් හොඳින් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ පිතිකරණ අංශයෙන්. ඒ වගේම තරග පැරදුණත්, අපි දැක්කා දඹුල්ලේදී ප්‍රේක්ෂකයන් අපට විශාල සහයෝගයක් දැක්වූවා. ඔවුන්ගේ බලාපොරොත්තුව අපි තරග ජයග්‍රහණය කිරීම. අපේ කණ්ඩායමේ ඉන්න සියලු දෙනා තරගයකට යන්නේ, එම තරගය ජයග්‍රහණය කරන අධිෂ්ඨානයෙන්.
හෙට (අද) තරගයේදී කණ්ඩායමේ ඉන්න සියලු දෙනා ඔවුන්ගේ උපරිමය දීලා කණ්ඩායම දිනවන්න කටයුතු කරයි. ඒ විශ්වාසය මට තිබෙනවා. මං කණ්ඩායමත් සමග නිතරම සිටිනවා. පුහුණුකාර මඬුල්ලයි, ක්‍රිකට් ආයතනයයි අපිට අවශ්‍ය කරන සියලු දේ ලබාදෙනවා. කණ්ඩායමක් විදිහට අපි හොඳ සූදානමකින් ඉන්නේ. මෙම තරගය ඉතාමත් තීරණාත්මක තරගයක්* යැයි පවසා සිටියේය.
මෙම තරගාවලිය 2019 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගිත්වයට ඍජු බලපෑමක් සිදුකරන තරගයක් හෙයින්, ඒ පිළිබඳව කුමක් සිතන්නේදැයි මෙහිදී උපුල් තරංගගෙන් විමසීය. ඊට පිළිතුරු දුන් තරංග,
“ශ්‍රේණිගත කිරීම් අනුව අපි ඉන්නේ ලෝක කුසලානයට සුදුසුකම් ලබයිද, නැද්ද කියන තත්ත්වයක. නමුත් ගොඩාක් ඉදිරිය ගැන හිතන්නෙ නැහැ. කණ්ඩායමක් විදිහට තරගයෙන් තරගය තමයි ක්‍රීඩා කරන්නේ. 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න නම්, මෙම තරගාවලියේ තරග 02ක් අපි ජයගත යුතුයි. ඒ සියලුම දේවල් අපේ ක්‍රීඩකයන්ගේ හිත් තුළ තිබෙනවා.
අපි මේ වනවිට හොඳ තත්ත්වයක නෙමෙයි ඉන්නේ. ගොඩාක් වෙලාවට අපි කරන දේවලුත් හරියන්නේ නැති වෙලාවල් තිබෙනවා. ඒ වගේම මෙය වාසනාවත් අපේ පැත්තේ නැති කාලයක්"
මෙහිදී ලසිත් මාලිංග සම්බන්ධයෙන් අදහස් පළකළ ශ්‍රී ලංකා නායකයා,
“ලසිත් මීට අවුරුදු තුන හතරකට කලින් හිටියට වඩා ඔහුගේ දක්ෂතා අඩුවෙලා තිබෙනවා. ඒක ලෝකේ ඉන්න ඕනෑම ක්‍රීඩකයෙක්ට සිදුවෙන්න පුළුවන්. ඔහු එක්දින තරගවලට පැමිණියේ මාස 18ක් 20ක් වගේ ක්‍රීඩා නොකර ඉඳලා. නමුත් ඔහු වගේ ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්න එක අනිත් පන්දු යවන්නන්ට වටිනා දෙයක්. ඔහුගෙන් ගන්න පුළුවන් දේවල් බොහෝයි. අපිට වේගපන්දු යවන්නන් ගොඩක් ඉන්නේ අලුත් අය*
කණ්ඩායමේ වෙනස්කම් සම්බන්ධයෙන් හා දඹුල්ලේදී ප්‍රේක්ෂකයන්ගේ ලැබුණු අනපේක්ෂිත ප්‍රතිචාර සම්බන්ධයෙන් තරංග මෙලෙස පැවසීය.
“කණ්ඩායම ගැන තාම අවසන් තීරණයකට ඇවිත් නැහැ. නමුත් බොහෝවිට කණ්ඩායමේ වෙනසක් සිදුවේවි. ප්‍රේක්ෂකයන් සෑම අවස්ථාවකම අපේ පිටුපසින් සිටියා. අපි තරග දින්නත් පැරදුණත් ඔවුන් අපිට සහාය දැක්වූවා. කණ්ඩායමක් විදිහට සියලු දෙනා යන්නේ තරග ජයග්‍රහණය කරන්නයි. එනිසා ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන සහාය අපිට ඉතාම වටිනවා. අපි විශ්වාස කරනවා මෙම තරගයේදීත් (පල්ලෙකැලේ) ඔවුන් අපිට නොඅඩුව සහාය දක්වාවි කියලා" යැයි පවසා සිටියේය.