හේනෙගම මධ්‍ය මහා විදුහල කඩුලු 06කින් පරාජය කර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කාණ්ඩයේ (Division III) ශූරතාව ගැනීමට තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය සමත් විය.
මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම ඩඩ්ලි සේනානායක විදුහල තෝරා ගත් අතර, ඔවුන් ගත් තීරණයට සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් හේනෙගම විදුහල පන්දුවාර 45.3කදී ලකුණු 113කට සීමා කිරීමට සේනානායක පන්දු යවන්නෝ සමත් වූහ.
මෙහිදී හේනෙගම ඉනිමේ කඩුලු පහක් ලකුණු 19ක් ඇතුළත බිඳවැටී ඉතා අසීරු තත්ත්වයක සිටියදී මැදපෙළ පිතිකරු ළහිරු පෙරේරා පන්දු 120කට මුහුණදෙමින් හතරේ පහර 03ක් සමගින් නොදැවී ලකුණු 46ක් රැස්කිරීමට සමත් විය. ඔහු විමුක්ති ලක්ෂාන් සමගින් 06 වැනි කඩුල්ලට ලකුණු 42ක සබඳතාවක් පැවැත්වීමටද සමත් විය. සේනානායක විදුහල වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක් සනිටුහන් කළ වේගපන්දු යවන චතුරංග ප්‍රසාද් ලකුණු 15කට කඩුලු 05ක් බිඳළීමට සමත් විය. ඊට අමතරව මහිඳු මධුෂාන් ලකුණු 22කට කඩුලු 02ක් බිඳ දැමුවේය.
ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සේනානායක පිතිකරුවෝ කඩුලු 04ක් පමණක් දැවී තරගයේ 34.4 වැනි පන්දුවාරයේදී සිය කඩයිමට ළඟාවිය. නායක ලකිත් ජයවීර පන්දු 73කට මුහුණදෙමින් ලකුණු 35ක් රැස්කළ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 05ක් ඇතුළත් විය. ඔහුට අමතරව මහිඳු මධුෂාන් ලකුණු 27ක් රැස්කළ අතර, ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 69ක සබඳතාවක් පැවැත්වූහ.
ඩඩ්ලි සේනානායක විදුහගේ වේගපන්දු යවන චතුරංග ප්‍රසාද් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. කෙසේ නමුත් ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය මෙන්ම හේනෙගම මධ්‍ය මහා විද්‍යාලයද එළඹෙන තරග වාරයේදී (2018/19) දෙවැනි කාණ්ඩයෙන් (Division II) ක්‍රීඩා කිරීමට සුදුසුකම් සපුරාගත්හ.
හේනෙගම ම.ම.වි. 113/10 (පන්දුවාර 45.3)
ළහිරු පෙරේරා නොදැවී 46, ජනිත් මධුෂාන් 17, විමුක්ති ලක්ෂාන් 16, සිසිකැළුම් ලෝචන 11, චතුරංග ප්‍රසාද් 5/15, මහිඳු මධුෂාන් 2/22
ඩඩ්ලි සේනානායක විදුහල 114/4 (පන්දුවාර 34.4)
ලකිත් ජයවීර 35, මහිඳු මධුෂාන් 27, සිතුම් වික්‍රමාරච්චි නොදැවී 13, හර්ෂ කරුණාරත්න 12