මතභේදයට තුඩුදී පසුගිය කාලය පුරා දැඩි කතාබහට ලක්වූ ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණයෙන් හිටපු සභාපති ප්‍රේමසිරි හැලඹගේ මහතාගේ සහෝදරයෙක් වන හැලඹගේ ලලිත් මහතා සභාපති තනතුරට වැඩි ඡන්ද 10කිත් තේරී පත්විය. ඔහුගේ ප්රතිවාදීයා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් පරිපාලනය සහාය දැක් වූ ශාන්තිලාල් අබේගුණවර්ධන මහතාට හිමිවුයේ ඡන්ද 06ක් පමණි. ගෙස්ටෝ ක්‍රීඩා සමාජය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණය සඳහා ක්‍රීඩා සමාජ 12කට ඡන්ද 02 බැගින් ඡන්ද 24ක් හිමිව තිබුණි. කෙසේ වෙතත් වත්මන් ක්‍රිකට් පරිපාලනය සහාය අතැතිව මෙම නිලවරණය ගාල්ල දිස්ත්‍රික්කය තුළ නොපවත්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පෙරේදා (21දා) පැවැත්වීම සුවිශේෂීය.
සභාපති පුටුව අහිමිවීමත් සමග අනෙකුත් සියලු තනතුරුද නිතරගයෙන් හැලඹගේ ලලිත් පාර්ශ්වයට හිමිවූ අතර, ඒ අනුව උප සභාපතිවරුන් ලෙස සාලිය චන්ද්‍රකුමාර ද සිල්වා මහතා සහ එච්. එම්. බී. එම්. ජයවර්ධන මහතා තේරී පත් වූ අතර ලේකම් ලෙස නිහාල් හෙට්ටිආරච්චි මහතාත් භාණ්ඩාගාරික ලෙස අරුණ ජයසේකර මහතාත් තේරී පත්විය. එමෙන්ම උප ලේකම් ලෙස කේ. ටයිඩි ද සිල්වා මහතා තේරී පත්වූ අතර තරග කමිටුවේ සභාපති ලෙස යු. ජී. සමන් මහතා තේරී පත්විය.
ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් පරිපාලනය සඳහා මීට පෙර හැලඹගේ ප්‍රේමසිරි මහතා තේරී පත්වූ අතර, වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය එය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව හැලඹගේ ප්‍රේමසිරි මහතා මියගිය අතර, ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් පරිපාලනයට වත්මන් පරිපාලනයට හිතැති පිරිසක් පත්වූහ. ඒ සභාපති ලෙස ශාන්තිලාල් අබේගුණවර්ධන සහ ලේකම් ලෙස ජයන්ත ජයවීර යන මහත්වරුන්ය. මේ දෙදෙනාටම මෙවර තනතුරු අහිමිවීම සුවිශේෂිය.
මේ අතර ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයට පැමිණි ක්‍රීඩා සමාජ නිලධාරියෙකු වන මහේෂ් මහතාට ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියෙකු බැන වැදී ඇතැයි වාර්තා වේ.
ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සමාජයක් නියෝජනය කරන මෙම නිලධාරියා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සම්බන්ධීකාරකවරයෙක් ලෙස වසර 20කට ආසන්න කාලයක් සේවය කර ඇති.