තරග පාවාදෙන්නෙකු ලෙසින් තමන්ට දිගින් දිගටම චෝදනා එල්ල කළද තමන් නිර්දෝශී බවත්, කිසිදු තරග පාවාදීමක් සිදු නොවූ බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපලේකම් රවීන් වික්‍රමරත්න මහතා පැවසීය. කළුතර ක්‍රීඩා සමාජය හා පානදුර කායවර්ධන කවය ක්‍රීඩා සමාජය අතර පසුගිය වර්ෂයේ (2017) ජනවාරි මසදී පැවැති පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරගයකදී සිදුවූයේ යැයි කියන තරග පාවාදීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම උදෙසා රවින් වික්‍රමරත්න මහතා විසින් මෙම මාධ්‍ය හමුව ඊයේ (22දා) පවත්වනු ලැබීය. හෙතෙම මෙහිදී පැවසූයේ කිසිදු තරග පාවාදීමකට තමන් සම්බන්ධ නොවූ බවත් , කිසිදු තරග පාවාදීමක් සිදුනොවූ බවත්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වික්‍රමරත්න මහතා,"මේ දක්වා මම කතා නොකර හිටියේ තරගයෙන් පස්සෙ එක දිගට මාස ගණනාවක් පරීක්ෂණයක් ගිහින් ඉන් පස්සෙ ක්‍රීඩා අමාත්‍යාංශයෙනුත් පරීක්ෂණයක් පැවැත්වුණ නිසා. නමුත් ඇතැම් මාධ්‍යයන් දිගින් දිගටම මට පහර එල්ල කළා මම මේකට සම්බන්ධයි කියලා. මම විධායක කමිටු සාමාජිකයෙක්. තිලංග සුමතිපාල මහතාගේ මිත්‍රයෙක්. ඒක දඩමීමා කරගෙන දිගින් දිගටම මට පහර එල්ල කළා. මාව උලුප්පලා පෙන්නලා තරග පාවාදෙන්නා කියන තැනකට සමහර මාධ්‍ය මාව ඇදගෙන ගියා. මේ පිළිබඳ මම විධායක කමිටුවට ලිඛිතව දැනුම් දුන්නා මට වන අපකීර්තිය මගේ වෘත්තීයමය තත්ත්වයට කැළලක් කියලා" යැයි පැවසීය.
මෙහිදී සිය ස්ථාවරය හා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දැක්වූ වික්‍රමරත්න මහතා,
"මම ඉදිරියේදී ක්‍රීඩා ඇමතිතුමාටත් මේ පිළිබඳ යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දුන්න නිර්දේශවල මගේ නමත් සඳහන් වෙලා තියෙනවා. මේකෙදී ක්‍රීඩකයන්ගේ ස්වාභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය වෙලා තියෙනවා කියලත් තියනවා. නමුත් මේ පරීක්ෂණය මාස එකොළහක් විතර කාලයක් තිබ්බට ඒ පිළිබඳව මට එක සැරයක්වත් කතා කරලා නෑ.(ප්‍රශ්න කර නෑ) මම අහන්නේ තරග පාවාදෙන්න තනි නිලධාරියෙක්ට විතරක් පුළුවන්ද. පාවාදෙන්න ක්‍රීඩකයන්ගෙන් උදව්වක් එන්න ඕන. නමුත් මේකෙ තියෙන්නේ ක්‍රීඩකයන් නිදහස් කරන්න, නිලධාරීන්ට දඬුවම් කරන්න කියලා. ක්‍රීඩකයන් නැතුව තරගයක් සෙල්ලම් කරන්න පුළුවන්ද?
ක්‍රීඩකයන්ට යුක්ති මූලධර්මයක් නෑ කියලා අතඅරිනවා නම් මට තියෙන යුක්ති මූලධර්මය මොකද්ද? මේක අහන්නේ නැතුව මේ ප්රශ්නය තවත් තලයන්ට ගෙනියනවා නම් මට නීතිමය මාර්ගයෙන් කටයුතු කරන්න වෙනවා. නමුත් මගේ ස්ථාවරය තමයි මම මේකට සම්බන්ධ නෑ. මෙතන තරග පාවාදීමක් වුණෙත් නෑ කියන එක. මේ ගැටලුව සම්බන්ධව ක්‍රිකට් විධායක කමිටුව හරියාකාරව ක්‍රියා කළේ නැත්නම් ඒ පිළිබඳවත් මට සාධාරණයක් ඉටු වුණේ නැත්නම් මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යනුවෙන් ප්‍රකාශ කළේය.