ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (04දා) රාත්‍රී 7.00ට ආරම්භ වේ.
මසකට ආසන්න කාලයක් මෙරට තුළ රැඳී සිටින බංග්ලාදේශ කණ්ඩායම, මේ වනවිට මෙරට තණතීරු පිළිබඳ යම් අවබෝධයකින් සිටින බවට සැකයක් නැත. විශේෂයෙන් ටෙස්ට් හා එක්දින තරගාවලිවලදී ශ්‍රී ලංකාවට කරට කර සටනක් දී ජය පරාජයෙන් තොරව අවසන් කර මේ වනවිට ඔවුහු වැඩි විශ්වාසයකින් සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට මුහුණදුන් විස්සයි20 තරගාවලි ද්විත්වයේදී දැක්වූ දක්ෂතා සුවිශේෂීය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව අවසන් වරට මෙරටදී විස්සයි20 තරගාවලියක් ජයගෙන ඇත්තේ, 2013 වර්ෂයේ නොවැම්බර් මාසයේදීය. එහෙයින් මෙම තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වැදගත්ය.
එමෙන්ම ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මේ දක්වා පවත්වා ඇත්තේ විස්සයි20 තරග 05ක් පමණක් වන අතර, ඉන් තරග 04කම ජය ශ්‍රී ලංකාවට හිමි වී ඇත. 2016 වර්ෂයේදී ඩකාහිදී (ආසියානු කුසලානය) පැවති තරගය ජයගැනීමට බංග්ලාදේශය සමත් වී ඇත්තේ, ඒ වනවිට අත්දැකීම් සහිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමකට එරෙහිවය.
විශේෂයෙන් එම තරගයේ පරාජයට පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය හේතු වූ බැවින්, අද තරගයේදීද පිතිකරණය පිළිබඳ අවධානයෙන් සිටීම කණ්ඩායමට වැදගත් කරුණක් වේ. ශ්‍රී ලංකාව සහභාගි වූ පසුගිය තරගාවලි ජයග්‍රහණය වෙනුවෙන් පිතිකරුවන්ගෙන් අගනා සහායක් ලැබී ඇති බැවින්, මෙම තරගයේදීද එම සහාය ජයග්‍රහණයට අත්‍යවශ්‍ය කරුණක් වේ.
බංග්ලාදේශ පිතිකරණ බලඇණියේ ආරම්භක පිතිකරුවන් වන තමිම් ඉක්බාල් හා සෞම්‍ය සර්කාර්ට ස්ථාවර වීමට අවස්ථාවක් ලබා නොදීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් වගබලාගත යුතුය. මෙරට තණතිලිවල හොඳින් ලකුණු අතරට පිවිසිය හැකි මෙම පිතිකරුවන් දෙදෙනා ස්ථාවර වීම ශ්‍රී ලංකාවට ප්‍රබල අවාසියක් විය හැකිය. එමෙන්ම මැදපෙළ පිතිකරු සබීර් රෙහෙමාන් පිළිබඳවද අමතක නොකළ යුතුය. වේගයෙන් ලකුණු අතරට පිවිසිය හැකි මෙන්ම ස්ථාවර ලකුණු සබඳතා ගොඩනගන සබීර්, ටෙස්ට් මෙන්ම එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවට වූ තර්ජනය හොඳින් මතක තබාගත යුතුය.
මේ අතර තරගාවලියට පෙර ඊයේ (03දා) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක උපුල් තරංග පැවසුවේ, විස්සයි20 තරගාවලියට හොඳ මානසිකත්වයෙන් පසුවන බවයි. එමෙන්ම එක්දින තරගාවලියට එක් නොවූ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පූර්ණ සූදානමින් පසුවන බවද ඔහු මෙහිදී පවසා සිටියේය.
''හොඳ මානසිකත්වයක් තියෙනවා. විශේෂයෙන් දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව වගේ ප්‍රබල රටවල්, ඔවුන්ගේ රටේදීම පරාජය කරන එක ලේසි වැඩක් නෙමෙයි. එනිසා හොඳ ආත්ම විශ්වාසයකින් ඉන්නවා. අත්දැකීම් සහිත ගොඩක් ක්‍රීඩකයන් කණ්ඩායමේ ඉන්නවා.
පළමු තරගයට කුසල් ජනිත් ක්‍රීඩා කරයිද කියන්න බෑ. තවම අවසන් කණ්ඩායම තෝරලා නෑ. කුසල්ගේ ශාරීරික යෝග්‍යතාව ක්‍රීඩා කරන්න 100%ක් සුවයි. ඔහු ක්‍රීඩා කරන්න සූදානමින් ඉන්නවා'' තරංග මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.
මෙහිදී කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් කවුරුන් වේද යන්න පැහැදිලි කළ තරංග,
''මම, කුසල් (ජනිත්), මුණවීර හා ධනුෂ්ක ඉන්නවා. මේ හතර දෙනාගෙන් කණ්ඩායමේ සමබරතාව අනුව තමයි ක්‍රීඩා කරන යුගලය තීරණය කරන්නෙ. ඒ වගේම පිට දඟ පන්දු යවන්නන්ද යොදාගන්න බලාපොරොත්තුවක් තියෙනවා. එම සංයෝජන අනුව කණ්ඩායම වෙනස් වෙන්න පුළුවන්.''
මෙහිදී එක්දින තරගාවලියේ දක්ෂතා දැක්වූ කුසල් මෙන්ඩිස් සංචිතයට ඇතුළත් නොවීම හා පිට දඟ පන්දු යවන්නන් පිළිබඳවද පැහැදිලි කළ තරංග,
''කුසල් ඉතා හොඳින් එක්දින හා ටෙස්ට් තරග ක්‍රීඩා කරනවා. නමුත් පන්දුවාර 20 තරගවලදි එතරම් සාර්ථක වුණේ නෑ. එමනිසා ඔහුට විවේකයක් දීලා, ඔහුගෙන් අනෙක් අංශ දෙකට ගන්න පුළුවන් දායකත්වය ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ශෙහාන් ජයසූරිය අපි කණ්ඩායමට කැඳෙව්වේ පිට දඟ පන්දු යවන්නෙකු හෝ ප්‍රධාන පන්දු යවන්නෙකු ලෙස නෙමෙයි, තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස. ඩිල්ෂාන් මුණවීරගෙනුත් අපට පන්දු යවන්නෙකුගේ ප්‍රයෝජන ගන්න පුළුවන්'' යැයි පැවසීය.
අද තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මහානාහිමිට ගෞරවය පුද කරති
අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර නාහිමියන්ට ගෞරවය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අද (04දා) තරගය ආරම්භයට පෙර විනාඩියක නිහඬතාවක් හා උන්වහන්සේට ගෞරව දැක්වීම පිණිස තැඹිලි වර්ණයෙන් යුතු පටියක් පැලඳ ක්‍රීඩාකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (03දා) රාත්‍රියේ නිවේදනය කළේය.