ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි හා අවසන් තරගය පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (12දා) ආරම්භ වීමට නියමිතය.
මේ වනවිට තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය ඉන්දීය කණ්ඩායම තරග 2-0ක් ලෙස ජයගෙන ඇති බැවින්, ඔවුන් මෙම තරගයට පිවිසෙන්නේ කිසිදු අවදානමකින් තොරවය.
කෙසේ නමුත් ඉන්දියාව මෙම තරගාවලිය, පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් බවට පරිවර්තනය කර ගැනීමට මාන බලනවා නොඅනුමානය. ඔවුන්ගේ එම සැලසුමේ එක් දිගහැරුමක් ලෙස තරග තහනමකට ලක්වූ රවීන්ද්‍ර ජඩේජා වෙනුවට අක්සාර් පටෙල් කැඳවීම පෙන්වා දිය හැකිය.
අක්සාර් කැඳවන්නේ ඔහු ඉන්දීය 'ඒ' කණ්ඩායම සමගින් සිදු කළ දකුණු අප්‍රිකානු තරග සංචාරය අතරතුරේදීය. ඔහුට තවමත් ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ දොරටු විවර නොවුණද, අක්සාර් ඉන්දියාව වෙනුවෙන් එක්දින හා විස්සයි20 තරග ක්‍රීඩා කරන්නේ 2014 වසරේ සිටය. ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 05කට පමණක් ක්‍රීඩා කර ඇති ඔහු, එහිදී කඩුලු 11ක් බිඳ හෙළා තිබේ.
ලොව එක්දින කණ්ඩායම් 08කට එරෙහිව ක්‍රීඩා කර කඩුලු 35ක් බිඳ හෙළා ඇති අක්සාර් එහි වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිවය.
ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව සාර්ථක වන අක්සාර් බංකුවේ හිඳුවීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව ඔහුව කැඳවූවා යැයි අනුමාන කළ නොහැකිය. අක්සාර් පිළිබඳව ශ්‍රී ලංකාවට ඇති එකම වාසිදායක තත්ත්වය නම් ඔහු ශ්‍රී ලංකාවේදී, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කර නොමැති වීමයි. එහෙත් ඉන්දීය කණ්ඩායමට ජඩේජා හැරුණු විට ඇති වමත් දඟපන්දු තුරුම්පුව අක්සාර් වීම හේතුවෙන් ඔහු බොහෝ විට හෙට (12දා) තරගයට ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැකිය.
ශ්‍රී ලංකා කණ්ඩායමද පළමු තරග දෙක පරාජය වී ශූරතාව අහිමි වූවා යැයි කියා මෙම තරගය අත් හළ තරගයක් ලෙස ක්‍රීඩා නොකළ යුතුය. අඩුම තරමේ ශූරතාව අහිමි වුවත්, ගෞරවය බේරාගැනීමට නම් මෙම තරගය ජයගැනීම කෙසේ වෙතත් අවම වශයෙන් ජයපරාජයෙන් තොරව අවසන් කර ගැනීම අනිවාර්යය වේ.
මන්ද ඉන්දීය ක්‍රීඩා විචාරකයන් උපේක්ෂා සහගතව තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම කරුණු දක්වා සිටියේ ඉන්දියාව මෙම තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගන්නා බවයි. එය මේ වනවිටත් සිදුව තිබේ.
යම් හෙයකින් මෙම තරගය ශ්‍රී ලංකාව පරාජය වුවහොත් ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේදී ඉන්දියාව හමුවේ ලබන පළමු පූර්ණ තරගාවලි පරාජය මෙය ලෙස ඉතිහාසයට එක් වනු ඇත. එවැනි තත්ත්වයකට පත්වීමේ අවදානමෙන් ශ්‍රී ලංකාව බේරාගැනීමට පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ටද වගකීමක් ඇති බව සිහි තබා ගත යුතුය.
පල්ලේකැලේහි අවසන් වරට පසුගිය වසරේ පැවති ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 106ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි විය. කෙසේ නමුත් මෑත කාලීනව ශ්‍රී ලංකාව දක්වන දක්ෂතා අනුව එවැනි වික්‍රමයක් මෙම තරගයේදී සිදු කරනු ඇතැයි සිතිය නොහැකිය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ නිත්‍ය දඟපන්දු යවන්නා වන රංගන හේරත් නොමැතිවය. නිමාවූ තරග දෙකේදී හේරත්ගෙන් බලාපොරොත්තු වූ සහයෝගයක් නොලැබුණත්, කණ්ඩායමට සිටින අත්දැකීම් බහුලම පන්දු යවන්නා හේරත්ය. ඒ හේතුවෙන් ඔහුගේ සහයෝගය නොමැතිවීම ශ්‍රී ලංකාවට තදින්ම දැනෙනු ඇත.
පල්ලෙකැලේ තණතීරුව හේරත්ගේ දගපන්දුවට මනා සහයෝගයක් ලබාදුන් අතර, මෙම ක්‍රීඩාංගණයේ වැඩිම කඩුලු දවාලූ පන්දු යවන්නාද ඔහු වෙයි. මෙහි තරග 03කට (ඉනිම් 05) ක්‍රීඩාකර ඇති හේරත්, එහිදී කඩුලු 20ක් බිඳහෙළා ඇත්තේ එක් කඩුලු පහ බැගින් (5/54, ඔස්ට්‍රේලියාවට එරෙහිව) දවාලූ අවස්ථාවක්ද ඇතිවය.
හේරත් වෙනුවට මෙම තරගයට ලක්ෂාන් සඳකැන් කැඳවීමටද අවස්ථාවක් ඇති අතර, ඔහුටද පල්ලේකැලේ තණතීරුව හොඳින් සහාය දක්වයි. මෙම ක්‍රීඩාංගණයේ දෙවැනි වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නාද සඳකැන් (කඩුලු 07) වෙයි. කෙසේ නමුත් පල්ලෙකැලේ තණ තීරුව වේගපන්දු යවන්නන්ටද වාසි සහගත නිසා බොහෝ දුරට හේරත් වෙනුවට වේගපන්දු යවන්නෙකු නම් කිරීමද තේරීම් කමිටුවේ අවධානය යොමුවීමටද ඉඩ තිබේ. බොහෝ දුරට ළහිරු කුමාරගේ ආබාධය සුවවී ඇත්නම් ඔහුව ක්‍රීඩා කරවීමට වැඩි අවස්ථාවක් ඇත.
මෙම ක්‍රීඩාංගණයේ ඉහළම ඉනිම ක්‍රීඩා කළ පිතිකරුවා වන්නේ කුසල් මෙන්ඩිස්ය. ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාවට අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙමින් ඔහු ලකුණු 176ක් රැස්කිරීමට සමත් විය. ඉන්දියාවට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේද කුසල් යළිත් වරක් ලකුණු (ලකුණු 110) අතරට පැමිණීමට සමත් වූ හෙයින් ඔහුගෙන් එවැනි ඉනිමක් ඉස්මතු වනු ඇතැයි අනුමාන කළ හැකිය. එසේ වුවහොත් ඉන්දීය කණ්ඩායමට මෙම තරගය සිතන තරම් පහසුවෙන් වාසි සහගතව නිමා කිරීමට නොහැකි වනු ඇත.
නිමාවූ තරග ද්විත්වයේදී හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන්ද වෙනදා දකින සටන අත් නොහරින උත්සාහවන්ත ඉනිමක් දැකගැනීමට නොහැකි වූ අතර, එය මගහරවාගැනීමට නොහැකිවන්නේ නම් මැතිව්ස්ගේ ස්ථානයද අවදානමකට ලක්වන අතර, ඔහු සාර්ථක වුවහොත් ඔහුට මෙන්ම කණ්ඩායමටද එය වාසිදායක වනු ඇත.
එමෙන්ම නායක දිනේෂ් චන්දිමාල්ද නායකත්වය ලැබෙන විට ලකුණු අතර නොමැතිවීම ශ්‍රී ලංකාවට බරපතළ පාඩුවකි. එය ඔහුගේ නායකත්ව අනාගතයද අනාරක්ෂිත කරවන්නකි. එමනිසා චන්දිමාල් හැකි ඉක්මනින් ලකුණු අතරට පිවිසිය යුතුය.
ඉන්දියාවට එරෙහිව කොළඹදී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ සටන්කාමී ඉනිම් දැකගත හැකිවුවද, තරගාවලිය පුරා පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද ආසාර්ථකය.
එනිසා එකා දෙන්නාගෙන් යැපෙන න්‍යායෙන් ඉවත්ව කණ්ඩායමේ බහුතරයක් ක්‍රීඩකයන් දක්ෂතා අතරට පිවිසිය යුතුය. ඉන්දියානු කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක එකට පැමිණීමේ රහසද එයයි. එවැනි කණ්ඩායමකට අභියෝගයක් එල්ල කිරීමට නම් එය සිදු කළ යුතුමය.
තරගය හෙට (12දා) පෙ.ව. 10.00 ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ළහිරු තිරිමාන්න, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ළහිරු ගමගේ, ඩිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන්