- ශ්‍රී ලංකා ටෙස්ට් නායක රංගන හේරත්
තරගය ජයගැනීම පිළිබඳ තමන්ට විශ්වාසයක් තිබුණ නමුත් දිවා ආහාරයෙන් අනතුරුව බංග්ලාදේශ පිතිකරණය ප්‍රහාරාත්මක වීම තරගයේ වාසිය බංග්ලාදේශයට ලැබීමට හේතු වූ බව බංග්ලාදේශයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේ පරාජය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක රංගන හේරත් පැවසීය.
තරගයෙන් අනතුරුව ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ දුර්වලතාවද මෙම තරගයේ පරාජයට හේතු වූ බවයි.
''මට ලොකු විශ්වාසයක් තිබුණාදඟපන්දු යවන්නන් තිදෙනෙකුත් එක්ක මේ ඉලක්කය අපට ජයගන්න පුළුවන් කියල. මොකද අපි ඉන්දියාව, පාකිස්තානය වගේ රටවල් එක්ක ක්‍රීඩා කරල මෙවැනි අඩු ඉලක්ක ජයගෙන තිබෙනවා.ඔවුන් දිවා ආහාරයෙන් පස්සෙ තමයි තරගයේ ප්‍රහාරාත්මක පැත්තට යොමු වුණේ.
පන්දුවට පහර දෙද්දි හා පන්දු රකිද්දිමේ තරගයේදී අපි ගොඩක් වැරදි කළා. අපට උඩ පන්දු කිහිපයක් ගිලිහී ගියා'' යැයි පැවසීය.
මෙම තරගාවලිය මුලින් දැක්වූ පරිදිම අභියෝගාත්මක තරගාවලියක් බවත්, බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට හොඳ දියුණුවක් ලබා ඇති බවත් රංගන මෙහිදී පෙන්වා දුන්නේය.
''මේ තරගාවලිය පැවැත්වීමට මුලින්ම කියපු දෙයක් තමයි මේ තරගාවලිය ලොකු අභියෝගාත්මක තරගාවලියක්. කණ්ඩායම් දෙකම සමානයි. නමුත් ගාල්ලේදී අපට ලොකු වාසියක් ලැබුණා ලකුණු 500 ක් වාර්තා කරල ඒ තිබ්බ වාසියත් එක්ක. අපට මේ තරගයේදී ඒක කරන්න බැරි වුණා. දෙවැනි තරගයේ හොඳින් සෙල්ලම් කරපු කණ්ඩායම තරගය දින්නා.
මුලදි දැකපු කණ්ඩායම නෙමෙයි දැන් ඉන්නෙ. ඒ කාලෙ අපේ හොඳ පිතිකරු සබඳතා යනකොට පීඩනයක් එල්ල කරන්නෙ නෑ. නමුත් මේ කණ්ඩායමේ මම දකින්නෙ ඒගොල්ලො හැමතිස්සෙම තරගයේ ඉන්න බලනවා. විවිධ සැලසුම් ඇතිව එනවා'' යැයිද හෙතෙම පැවසීය.
මෙහිදී ක්‍රීඩකයන් නැවත විමසීමේ ක්‍රමවේදයේදී භාවිතයට ගැනෙන දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් වන හොට් ස්පොට් (Hot spot) අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ලබාගැනීම පිළිබඳ මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දුන් රංගන හේරත් පැවසුවේ එම ක්‍රමවේදයන් භාවිත කිරීමට තමා කැමති බවයි.
''දියුනු තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරනවාට මම නම් කැමතියි. ඒකෙන් සමහරවිට අපට අවාසියක් වෙන්න පුළුවන්. ඒත් අපට නිවැරදි තීරණය එයින් ලැබෙනවා'' යැයි ඔහු කීය.
පන්දු යවන්නන් විශාල සේවයක් කළා
- බංග්ලාදේශ නායක මුෂ්ෆිකර් රහීම්
මට විශාල සතුටක් දැනෙනවා. පළමු තරගය පරාජයට පත් වුණාට පස්සෙ අපි විශාල ශක්තියකින් ක්‍රීඩා කළා.සැලැස්මකින් ක්‍රීඩා කළා. ඉදිරියේදීත් තරගාවලියකදි මෙවැනි තත්වයක් ආවොත් අපට පහසුවෙන් ඒකට මුහුණදෙන්න ශක්තිය තියෙනවා කියන්න පුළුවන්.
ශ්‍රී ලංකා කණ්ඩායම සැහැල්ලුවට ගත හැකි කණ්ඩායමක් නෙමෙයි. ඔවුන්ගේ මේ කණ්ඩායම ඔස්ට්‍රේලියාවත් පරාජය කළා.මම හිතන්නෙ කාසියේ වාසිය පරාජයට පත්වුණාට පස්සෙ අපේ පන්දු යවන්නන්විශාල සේවයක් කළා. විශේෂයෙන් පන්දුවට පහරදෙන්න හොඳ විකට්ටුවක් තමයි තිබ්බෙ. එහිදී ලකුණු 200 ක් හෝ 250 ක් කියන්නෙ මෙහිදී හඹා යා හැකි ලකුණු සංඛ්‍යාවක්.අපේ සෑම පිතිකරුවෙකුටම ඒක හඹායන්න පුළුවන් කියන විශ්වාසය තිබ්බා.